නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩුපාඩු සහිත ලංගම බස්වලට දීපාවලියෙන් පසු නීතිය තද වෙයි
05 November 2026 | සිතාර ඉරාෂ් - වටවල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩුපාඩු සහිත ලංගම බස්වලට දීපාවලියෙන් පසු නීතිය තද වෙයි
05 November 2026 | සිතාර ඉරාෂ් - වටවල
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අඩුපාඩු සහිතව ධාවනය වන ලංගම බස් රථ සම්බන්ධයෙන් දීපාවලී උත්සව සමයේ සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක කාර්යාලයේදී ලංගම ඩිපෝවල ඉංජිනේරුවන් දැනුවත් කිරීම සඳහා පෙරේදා (03) පැවති වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.
එවැනි බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට අමතරව ඩිපෝ කළමනාකරුවන් සහ ඩිපෝ ඉංජිනේරුවන්ට එරෙහිවද අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ධාවනය වන ලංගම, පෞද්ගලික බස් රථ ඇතුළු සියලුම වාහන වසරක කාලයක් පුරා පරීක්ෂාවට ලක් කර ඒවායේ පවතින අඩුපාඩු සපුරාලීම සඳහා අවස්ථාව ලබාදී තිබූ බවද ඔහු පැවසීය.
එහෙත් ඉදිරියේදී මගී ප්‍රවාහනය සඳහා අඩුපාඩු සහිතව ධාවනයට එක් කරන ලංගම බස් රථ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවත්, අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මගී ප්‍රවාහනය සඳහා දෛනිකව ඩිපෝවලින් ධාවනයට එක් කරන සෑම ලංගම බස් රථයක්ම යෝග්‍යතා සහතිකය සහිතව, තාක්ෂණික දෝෂ හෝ වෙනත් අඩුපාඩු නොමැතිව ධාවනයට එක් කළ යුතු බවද ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා අවධාරණය කළේය.
එමෙන්ම සෑම බස් රථයක්ම එහි මුල් ආකෘතියට අනුකූලව පවත්වාගෙන යා යුතු අතර, රියදුරන් වෙත බස් රථයේ ආදායම් බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ සහතිකයේ පිටපතක් ලබාදීම ඩිපෝ ඉංජිනේරුවරයාගේ වගකීමක් බවද ඔහු පැවසීය. ඩිපෝව මගින් ලබාදෙන ආදායම් බලපත්‍රයේ පිටපත ධාවනයට එක් කරන සෑම බස් රථයකම ඉදිරිපස ප්‍රධාන වීදුරුවේ වම්පස ප්‍රදර්ශනය කළ යුතු බවද ජාලිය බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.
නුවරඑළිය කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති රෝෂන් කුරේ විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

