brand logo
logo
ඇඹිලිපිටියේ අජාසත්තට ගල් ගැසීමට පෙර !

ඇඹිලිපිටියේ අජාසත්තට ගල් ගැසීමට පෙර !

16 July 2026

මව්පිය සෙනෙහස සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු සිඳ බිඳ යන මානව ධර්මයක් යැයි සුද්ධෝදන රජතුමා බුදුරජාණන්වහන්සේට ප්‍රකාශ කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. සත්ව ලෝකය කෙරෙහි අවධානය යොමු කරන කල අනෙකුත් සත්වයන්ට වඩා මිනිස් සතාට මව්පිය රැකවරණය යටතේ දීර්ඝ කාලයක් සිටීමට සිදුවන බව පෙනේ. සාමාන්‍යයෙන් දරුවකු ස්වාධීනවීමට යොමු වනුයේ වයස අවුරුදු දහ අට ඉක්මවූ විටය. ඒ වනතෙක් මිනිස් දරුවන් හැදී වැඩෙනුයේ මව්පිය රැකවරණය යටතේය. එනිසා මව්පියන් සහ දූ දරුවන් අතර සෙනෙහස් බැම්මක් ගොඩ නැගෙන බව පෙනේ. මෙකී මව්පිය දූ දරු සෙනෙහස් බැම්ම පිළිබඳ ඕනෑ තරම් කව් ගී ගායනා කර තිබේ. ලංකාවේ ජීවත් වන උදවියට දවසේ කවරම හෝ අවස්ථාවක මව්පිය ගුණ ගයන ගීයක් ඇසිය හැකිය. එපමණක් නොව අපේ රටේ භික්ෂූන්වහන්සේලා ද බෙහෙවින් තමන් වහන්සේලාගේ ධර්ම දේශනා සඳහා තේමාවක් කරගන්නේ මව්පිය ගුණය. සිය දරුවා බේරා ගැනීම සඳහා ලේනියක වලිග කොටයෙන් මහ සමුදුරේ ජලය සිඳවීමට දැරූ මහ වෑයම පිළිබඳ කතාවත් සහ සිය මව උරෙහි දරාගෙන රුදු සයුර තරණය කළ බෝසත් පුතකු පිළිබඳ කතා වස්තුවත් කුඩා අවදියේ සිට අප ශ්‍රවණය කර තිබේ. මේ සියල්ලෙන් ඉස්මතු කරනුයේ මව්පිය දූ දරු සෙනෙහස් බැම්මෙහි තරමය. එනිසා අපේ සංස්කෘතියෙහි ඇගයීම් පද්ධතිය නිර්මාණය වූයේ මෙකී මව්පිය දූ දරු සබඳතාව කේන්ද්‍රීය සාධකයක් හැටියට පදනම් කරගෙනය.


එහෙත් අද අපට ඇහීමට දැකීමට ලැබෙන සිදුවීම්වලින් පැහැදිලි වනුයේ මෙකී ශක්තිමත් බැම්මද ඉතා වේගයෙන් දෙදරා යන ආකාරයයි. ඇඹිලිපිටිය ප්‍රදේශයෙහි විසිහය හැවිරිදි දරුවකු මව්පියන්ගේ මරුවාවීමේ කතාව මේ වන විට බෙහෙවින් අවධානයට ලක්වී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ආදරයෙන් හදා වඩාගත් දරුවකු වයස විසිහයේදී මවුපියන්ගේ මරුවාවීම කෙතරම් නම් බරපතළ ශෝකාන්තයක් දැයි සඳහන් කළ යුතු නොවේ. හෙළිව තිබෙන තොරතුරු අනුව මවුපියන්ට මරුවා වූ මෙකී දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකි. එසේම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ මවට පහර දීම යන චෝදනා යටතේ මෙකී තැනැත්තා බන්ධනාගාර ගත කරනු ලැබ තිබියදී ඇප දී මව්පියන් විසින් නිදහස් කරනු ලැබ වැඩි දිනක් ගත වී නැත. ඒ කෙළෙහි ගුණයවත් නොසැලකූ විසි හය හැවිරිදි මෙකී ඝාතකයා මව්පියන් ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කරන තොරතුරු අනුව මේ තැනැත්තා ගංජා පානයට දැඩිව ඇබ්බැහි වී සිටියෙකි. සැබවින්ම මත්ද්‍රව්‍ය භාවිතය මෙකී ඝාතනයට බලපෑ එකම හේතුව හැටියට සැලකිය හැකිද? යම් පමණකට හෝ මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන පුද්ගලයකු වුවද තම මවුපියන් ඝාතනය කිරීමට යොමු විය හැකිද? යන ගැටලු අපට ඇතිවෙයි.


මත් මතින් හෝ ඔහුට මව්පිය ගුණ බිඳක් හෝ නොදැනුණේද? මෑත කාලයේ ලංකාවේ මිනිස් ඝාතන දෙස අවධානය යොමු කරන විට පැහැදිලි වන කරුණක් නම් දූ දරුවන් විසින් මව්පියන් ඝාතනය කිරීමේ අපරාධවල යම් වර්ධනයක් දැකිය හැකි බවය. එසේම සමහර මවුපියන් කුඩා දරුවන් ඇතුළු දරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් ද අපට නිරීක්ෂණය කළ හැකිය. ඇඹිලිපිටිය ඝාතනයට පෙර රටේ අවධානයට ලක් වූ මාතෘ ඝාතනය වූයේ යාපනය සරසවියෙහි සේවය කළ ආචාර්යවරියක ඇගේ දියණිය සහ පෙම්වතා එක්ව සැලසුම් කොට ඝාතනය කිරීමය. හින්දු සමාජය තුළද මව්පියන්ට ලැබෙනුයේ ඉහළ තැනකි. මේ සියල්ලෙන් පැහැදිලි වනුයේ සමාජයක් හැටියට දැඩි අයාලේ යාමකට, කඩා වැටීමකට, මිනිස් සබඳතා සෝදා පාළුවකට අප මුහුණ දෙමින් සිටින බවය. එක් පැත්තකින් සංස්කෘතිය, කලාව සාහිත්‍යය, ආගම දහම කුමටදැයි විමසූ දේශපාලන ධාරා මගින් පෝෂණය කරනු ලැබූ පරම්පරාවක ප්‍රතිඵල අපට දැක ගත හැකිය. එසේම පන්ති වෛරය යැයි කියමින් වෛරය, ද්වේෂය, ක්‍රෝධය ආයතන ගත කළ දේශපාලන ව්‍යාපාරවල ප්‍රතිඵල අපට භුක්ති විඳීමට සිදුව ඇත. පසුගිය දශක පහකට ආසන්න කාලයක් තිස්සේ අප දුටුවේ වෛරය සමාජ ගත කළ සමාජ දේශපාලන ව්‍යාපාරවල වර්ධනයයි. සමහර සමාජ දේශපාලන ව්‍යාපාර මව්පිය දූ දරු බැම්මද ප්‍රශ්න කිරීමට දූ දරුවන් යොමු කළ බව රහසක් නොවේ. සමහරුන්ට අනුව මව්පිය දූ දරු බැඳීම වැඩවසම් සමාජ සාරධර්මයකි. නීතියක්, ආගම දහමක්, සංස්කෘතික ශික්‍ෂණයක් මිනිසා නමැති සත්වයාට අවශ්‍යය. සත්ව ලෝකයේ සංකීර්ණ සත්වයා මිනිසාය. එකී සතා පාලනය කිරීම පහසු නැත.


සත්ව ලෝකයේ අනෙකුත් බොහෝ සත්ත්වයෝ ජෛවීය ධර්මතා සහ සොබාදහම අනුව පාලනය වෙති. මිනිස් සතාට එවැනි පාලනයක් ප්‍රමාණවත් නැත. එනිසා ඇඹිලිපිටිය මව්පිය ඝාතනයෙන් පැහැදිලි වනුයේ අපේ රටේ මිනිස් සබඳතාවල බරපතළ කඩා වැටීමක් බව අවධාරණය කළ යුතුය. ලංකාවේ බෞද්ධ සංස්කෘතියෙහි නියාමකයන් සේ කටයුතු කරන භික්ෂූන්වහන්සේලාද බෞද්ධ පවුල්වල දරුවන් මවුපියන් ඝාතනය කරන තැනට පෙලඹී තිබෙන්නේ කවර හේතු සාධක නිසාදැයි සොයා බැලිය යුතුය. නිවන් දැකීමට බණ කීමට පෙර ඒ පිළිබඳ අප්‍රමාදව සොයා බලා බෞද්ධ සමාජයට මග පෙන්වීමක් කළ යුතු බව සිහිපත් කළ යුතුය. මව්පියෝද කන්න බොන්න දී දරුවන්ගේ කරදණ්ඩ උස්මහත් කිරීම පමණක් ප්‍රමාණවත් නැති බවත් ඔවුන්ට සදාචාරාත්මක ආදර්ශයක් සහ මග පෙන්වීමක් කළ යුතු බවත් තේරුම් ගත යුතුය. එසේම ලංකාවේ මවුපියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වී එය ඝාතන දක්වා ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දේපළ ඉඩකඩම් පිළිබඳ ගැටලුයි. එනිසා ඒවා නිසි කාලයේදී පරාණ බුක්තිය හෝ තබාගෙන සාධාරණව පවරා දීමටද පියවර ගැනීමට අමතක නොකළ යුතුය.

 

More News..