brand logo
logo
සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවතම තත්ත්වය

සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවතම තත්ත්වය

04 March 2026

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව යම් යම් පාර්ශ්ව සැනසවීමට ගත් දේශපාලන ක්‍රියාදාමයක් බව පෙනීයන්නේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 


අද (4) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.


මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අද මෝසමක් ගොනුකළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්නකරන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතීඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.


එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේදැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විමසා තිබේ.


එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරියා කියා සිටියේ, මෙතෙක් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නොමැති බවය.


එම අවස්ථාවේ සලේ මහතාගේ නීතීඥවරයා, ඒ මහතා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉටු කරන ලද සේවාව නිසා ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් නිවසින් ආහාර ලබාගැනීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔහුගේ පුත්‍රයාට ඔහු වෙත ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


එසේම ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම සහ ලබාගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත්, නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.


කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බැවින් එම ඉල්ලිම්වලට ඉඩ ලබා දිය නොහැකි බවය.

 

More News..