brand logo
logo
දියේ ගිලී සිදුවන මරණ

දියේ ගිලී සිදුවන මරණ

22 September 2026


දිනපතා පුවත්පත් කියවන්නකුට දියේ ගිලී මිය යෑමක් ගැන එමගින් කියවන්නට නොලැබෙන්නේ කලාතුරකින් දවසකය. අවුරුද්දකට දියේ ගිලී සිදුවන මරණ ගණන 600-900 අතර වන්නේ යැයි සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. එකී සියලු මරණ පිළිබඳ ජනමාධ්‍ය මගින් රට දැනුවත් කෙරෙන නමුදු දියේ ගිලී මිය යෑම් අවුරුදු පතා වැඩිවනු මිස අඩුවන බවක් වාර්තා වන්නේ නැත.


සැප්තැම්බර් මාසයේ ගෙවී ගිය සති තුන ඇතුළත පමණක් දියේ ගිලී සිදුවූ මරණ සංඛ්‍යාව නවයකි. සැප්තැම්බරයේ මුලදීම නානුඔය ඇළේ දිය නෑමට ගොස් 23 හැවිරිදි හා 24 හැවිරිදි තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සැප්තැම්බර් 8 වැනිදා මහඔයේ ගිලී 13 හැවිරිදි දරුවෙකුද, සැප්තැම්බර් 13 වැනිදා හීන් ගඟේ ගිලී 11 හැවිරිදි සාමණේර හිමි නමක්ද, සැප්තැම්බර් 15 වැනිදා මහ මුහුදේ ගිලී 25 හැවිරිදි ඉන්දීය සංචාරකයෙකුද, සැප්තැම්බර් 19 වැනිදා මහඔයේ ගිලී තරුණයන් හතරදෙනකුද නොඑන ගමන් ගියෝය.


දියේ ගිලීමෙන් මියයන පිරිස් පිළිබඳ පොදු සාධක ගණනාවක් තිබේ. පිරිමින් වීම, තරුණයන් වීම හා විනෝද ගමනකට සහභාගි වෙමින් සිටියදී වීම ඒ පොදු සාධකයි. වැඩිහිටියන් හා කාන්තාවන් මියයෑම මෙන්ම තමන් දන්නා කියන ප්‍රදේශයකදී දියේ ගිලී මියයෑම් සිදුවීමද අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.


අපේ රටේ විනෝද ගමන් යන බොහෝ දෙනාට අතරමගදී දකින ගංගා, ඇළදොළ හා වැව් පසුකර පියනැගීමට හිත නොනැමේ. එහෙත් නොදන්නා පළාත්වල පිහිටි ජලාශ ආරක්ෂිතදැයි ඔවුන් දන්නේද නැත. හැරත් දැනගැනීමට කරදර වන්නේද නැත.


අනාරක්ෂිත ස්ථානවල දියනෑමට ගොස් ජීවිතය අනතුරේ හෙළාගැනීම සිදුවන්නේ ඒ ආකාරයටය. දිය නෑම අනතුරුදායක වන ස්ථානවල වුවද ඒ බව දැනුම් දෙන පුවරුවක් ඉදිකිරීමට අදාළ පළාත් පාලන කරදර වන්නේ කලාතුරකිනි. එබඳු තැනෙක දිය නෑමට එන ප්‍රදේශවාසීන්ද හිඟ නිසා අවශ්‍ය වුවත් ආරක්ෂිතභාවය පිළිබඳ තොරතුරු දැන ගැනීමද පහසු නැත.


එහෙත් ඇතැම් අවස්ථාවලදී සිදුවන්නේ එබඳු උපදේශයක් ලැබුණද ඒ නොතකා ක්‍රියා කිරීමය. ජලාශවල දිය නෑමට ගොස් සිදුවන සමහර අනතුරුවලදී ප්‍රදේශවාසීන් කළ අනතුරු හැඟවීම් නොසලකා හැරුණු බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී සාක්ෂිකරුවන් කියනු පුවත්පත් වාර්තා කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඊට හේතුව විනෝද ගමන් යෑමේදී ඇතිවන සැහැල්ලු මානසිකයයි.


එහෙයින් දියපහරක් දුටු සැණෙන් හිතට ඇතිවන වීරත්වය ඇතැම් විට කෙළවර වන්නේ මිනී පෙට්ටියකිනි. විනෝද ගමන්වලදී දියේ ගිලීමෙන් සිදුවන මරණ ගැන දිනපතා අසන්නට ලැබෙන තත්ත්වයක් යටතේ වුවත් ඒ රැල්ල වෙනස් වන්නේ නැත. එහෙත් දියේ ගිලී මියයෑමට ගොදුරු නොවන පිරිසක්ද මේ අතරේ සිටිති.


ඉන් එක් පිරිසක් ඉතා හොඳින් පිහිනීමට දත් පිරිසයි. ඔවුන් දක්ෂ පිහිනුම්කරුවන් වී ඇත්තේ පොතපත හැදෑරීමෙන් නොව පිහිනීමෙන්ම ලැබූ අත්දැකීම් තුළිනි. එහෙයින් අවදානම් කලාප හඳුනා ගැනීමේ ඥානයක් සිය දීර්ඝ පිහිනුම් ඉතිහාසය තුළ ඇති බැවින් ඔවුහු පුහු වීරකම් ප්‍රදර්ශනය කිරීමට නොගොස් එවැනි තැන් මග හරිති.


ඒ හැරුණු විට දියේ ගිලී මියයෑමට පාත්‍ර නොවන පිරිස වන්නේ පිහිනීම නොදත් පිරිසයි. තමන්ට පිහිනීමට නොහැකි බව ඉඳුරා දන්නා හෙයින් ඔවුහු ගැඹුරු දිය⁣ට යෑමෙන් වළකිති. එසේ ගත් කළ දියේ ගිලී මියයන ඉතා වැඩිදෙනා දියේදී යන්තම් අතපය ගැසීමට වැඩි දෙයක් කළ නොහැකි උදවියයි.


වරක් දියේ ගිලී මියයෑම පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වූ තවත් කරුණක් වූයේ එසේ මියයන බොහෝ දෙනා පාළු ස්ථානවලදී ජලාශවල පිහිනීමට ගොස් අනතුරට ලක්වූවන් බවයි. ඒ එබඳු තැනකදී පිහිටාධාරයක් පවා ලැබෙන්නේ නොමැති හෙයිනි. එහෙයින් ජනාකීර්ණ නොවන ප්‍රදේශවලදී ගංගා, ඇළදොළ ආදියට බැසීමෙන් වැළකීමට එවැනි තැන්වල උපදෙස් පුවරු සවිකිරීම දියේ ගිලී මියයෑම් වැළැක්වීමට කළ යුතුව තිබේ.


ඒ හැරුණු විට දියේ ගිලී මියයෑම් වළක්වා ගැනීමට කළ යුතු වැදගත් කටයුත්තක් වන්නේ පාසල් දරුවන්ට පිහිනීම පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමයි. පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට රටේ කලින් කලට විශාල උනන්දුවක් ඇතිවෙතත් මේ දූපත් රාජ්‍යයේ සියලු පාසල් දරුවන්ට පිහිනීමට ඉගැන්වීම ගැන කිසිවකුත් කරදර වන බවක් පෙනෙන්නට නැත. එහෙත් එය අපේ නායකයන් කලින් කලට මවා පෙන්වන ස්වර්ග රාජ්‍යය ඉදිවී සෑම පාසලකටම පිහිනුම් තටාකයක් ලබාදෙන දවස දක්වා කල්දැමිය යුතු ව්‍යාපෘතියක් නොවේ.



 


 

More News..