කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවෙයි
12 July 2026
කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවෙයි
12 July 2026
තංගල්ල පොලිස් වසමට අයත් සියඹලාගොඩ නිවසක් ඉදිරිපිට ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකුගේ සිරුරක් ඊයේ (11) රාත්‍රි සොයාගෙන ඇත.
මෙලෙස හමුව ඇත්තේ බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල, අංක 62 නිවසෙහි පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නැමති 88 හැවිරිදි සිව්දරු පියෙකි.
මෙම පුද්ගලයා සිය බිරිය සමග නිවසෙහි තනිව වාසය කර ඇති අතර ඔහුගේ සිරුර ඊයේ රාත්‍රි 8.00ට පමණ නිවස ඉදිරිපිට ජල කරාමයක් ආසන්නයේ වැටී තිබියදී හමුව තිබිණි.
මියගිය පුද්ගලයාගේ සිරුරෙහි තිබී කැපුම් තුවාල කිහිපයක් හමුව ඇති අතර ඔහු වැටී සිටි ස්ථානයේ සහ මුහුණෙහි රුධිරය තිබී ඇත.
මෙම පුද්ගලයා කිසිවෙකු විසින් ඝාතනය කර ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධියට සැකපිට මියගිය පුද්ගලයාගේ බාල පුතු වන 48 හැවිරිදි පුද්ගලයකු තංගල්ල මූලස්ථාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
එම පුද්ගලයා විශ්‍රාමික නාවික හමුදා සෙබළකු වන අතර ඊයේ (11) උදෑසන 11ට පමණ ඔහු පියාගේ නිවසට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බව පොලීසිය පැවසීය.
තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීහු ස්ථානීය පරීක්‍ෂණයක් කළ අතර තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.

