brand logo
logo
 දිට්වා ආපදාවෙන් හානියට පත් වැව් තුනක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරයි

දිට්වා ආපදාවෙන් හානියට පත් වැව් තුනක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරයි

25 August 2026


දිට්වා ආපදාවෙන් හානියට පත් කච්චිමඩුව වැවේ වාන ඇතුළු වාරිමාර්ග හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති තුනක් අද (25) දින පුත්තලම ආණමඩුවේ වැව් අමුණු ආශ්‍රිතව ආරම්භ විය.


රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන පැවැත්විණි.


මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පැවසුවේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිත සුවපත් කිරීම සහ විනාශ වූ වාරිමාර්ග, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් පසුගිය වසරේ වෙන කළ මුදලට අමතරව 2026 වසර තුළ රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවය.


ආපදාව සිදු වූ අවස්ථාවේදී කොට්ටුකච්චිය හා මහව ප්‍රදේශයන්හි ජන ජීවිත මෙන්ම නිවාස ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය පාලනය කර ගැනීමට හැකි වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, තාක්ෂණික හා මානව සම්පත් හිඟකම හමුවේ වුවද හැකි ප්‍රථම අවස්ථාවේදීම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවද පැවසීය.


ඒ අනුව කච්චිමඩුව වැව, ලබුගල වැව සහ ගල්කිස්ස අමුණ ඇතුළු ප්‍රදේශයේ සියලු වාරි පද්ධතීන් පූර්ව තත්ත්වයටත් වඩා ශක්තිමත්ව සහ විශිෂ්ට ලෙස නැවත සකස් කිරීමට පියවර ගන්නා බවත්, හානියට පත් බෝධික්කාරාම පන්සලේ ටැම්පිට විහාරගෙය ද සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


ජාතික හා ආගමික භේදයකින් තොරව, රට හමුවේ ඇති දැවැන්ත අභියෝගයන් ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියටත් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශියක් රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කළේය.

 

More News..