brand logo
logo
වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

19 October 2026


වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමු කර ඇති බව වාර්තා වේ.


පසුගියදා අවාසනාවන්ත ලෙස මියගිය 'කාවන්තිස්ස' හස්තියාට ප්‍රතිකාර කිරීමේදී සිදුවූ බව කියන සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ දැඩි චෝදනා හා විවේචන හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව වෛද්‍යවරයා සඳහන් කරයි.


2016 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුවට එක්වූ ඉසුරු හේවාකොට්ටගේ මහතා 2018 දක්වා අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ සේවය කර ඇති අතර, අනතුරුව නිකවැරටිය වනජීවී ඒකකයට ස්ථාන මාරුවීම් ලබා පැමිණ තිබේ.


එතැන් පටන් මේ දක්වා වයඹ කලාපයේ වනඅලින්, හස්තීන් මෙන්ම අනෙකුත් වනසතුන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ඔහු දැවැන්ත සේවයක් ඉටුකර ඇත.


විශේෂයෙන්ම මුහුදේදී අනතුරුවලට ලක්වන කැස්බෑවන්ගේ ජීවිත බේරාගෙන නැවත මුහුදට මුදාහැරීමේ කටයුතුවලදී ඔහු විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.


මීට පෙර මියගිය 'තේක්ක රාජා' සහ 'භාතිය' යන හස්තීන්ට ප්‍රතිකාර කළද එම සතුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට සමාජයෙන් විවේචන එල්ල වී තිබුණි.


එමෙන්ම 'කාවන්තිස්ස' හස්තියාට ප්‍රථමයෙන් ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතාගේ නිසි සැලකිල්ලක් නොමැති වීම හේතුවෙන් එම හස්තියා මියගිය බවටද චෝදනා එල්ල විය.


කෙසේ වෙතත්, වාර්තා වන තොරතුරුවලට අනුව කාවන්තිස්ස හස්තියාට ලබාදී ඇති සියලුම ප්‍රතිකාර අදාළ නියමිත ඖෂධ මාත්‍රා අනුව සිදුකර ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ, ප්‍රවීණ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළේ, වනජීවී පශු වෛද්‍යවරයකුට කිසිවිටෙකත් හිතුමතේ ඖෂධ ලබාදිය නොහැකි අතර නියමිත ක්‍රමවේදයන් හා නිර්දේශිත මාත්‍රා අනුව පමණක් ප්‍රතිකාර සිදුකරන බවයි.


වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ අදාළ සම්මත ක්‍රමවේදයන්ට යටත්ව ප්‍රතිකාර ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.


කැපවීමෙන් රාජකාරි කළද දිගින් දිගටම එල්ල වූ චෝදනා තම රාජකාරියට මෙන්ම පෞද්ගලික ජීවිතයටද දැඩි ලෙස බලපෑ බැවින් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සඳහන් කර ඇත.


ඔහු වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණද, සමස්ත වනජීවී දෙපාර්තමේන්තුවෙන්ම ඉල්ලා අස්වන බවට මේ දක්වා නිල වශයෙන් දන්වා නොමැති බවද වාර්තා වේ.  


 

More News..