උඩරට මැණිකේ එනතුරු බලන ගම්මු බලා සිටිති
15 August 2026 | මහේන්ද්‍ර රන්දෙණිය
උඩරට මැණිකේ එනතුරු බලන ගම්මු බලා සිටිති
15 August 2026 | මහේන්ද්‍ර රන්දෙණිය
දශක ගණනාවක් පුරා බලන ගමේ ගම්මුන්ගේ ජීවිතය බැඳී තිබුණේ කෝච්චිය සමගය. ගම්මු රස්සාවට ගියේත්, දරුවන් ඉස්කෝලේ ගියෙත් කෝච්චියේය. ඇඳුමක් පැලඳුමක්, ගෙදර දොරට ඕනෑ දෙයක් ගැනීමට නුවර ටවුමටද කඩුගන්නාවටද ගියේ කෝච්චියේය. යළි ගෙදර ආවෙත් කෝච්චියේය.
බලන ගම්මුන්ගේ ගමන් බිමන් කෝච්චියට සින්න වූයේ ඒ ගමට යාමට ඒමට ඇති පහසුම මග කෝච්චිය නිසාය. බලන කන්ද පාමුලෙන් කොළඹ-මහනුවර ප්‍රධාන පාර තිබුණත් එම පාරත් බලන ගමත් යා කරන හරිහමන් පාරක් තිබුණේ නැත. තිබෙන කොන්ක්‍රීට් පාරේ මෝටර් සයිකලයකට, ත්‍රිරෝද රථයකට හැර වෙන වාහනයකට යන්නට බැරිය. සුද්දාට පවා ළංවෙන්නට බැරි බලන ගිරිදුර්ගය ජයගෙන හරිහමං පාරක් කපන්නට බැරි වූයේ ඒ බිමේ පිහිටීම හේතුවෙනි.
බලන හරහා ගොස් උඩරට අල්ලන්නට ආපු පරදේශකාරයන්ට උරුම වූයේ මරණය පමණි.
බලන බළකොටුව රජුගේ උපදෙස් මත ඉදි කර ඇත්තේ උඩට රාජධානිය සමයේ සිටි අමුණුපුර මුදලිඳු නම් ප්‍රභූවරයකු බව සඳහන් වේ. පහතරට උඩරට යා කෙරෙන කඩවත වූයේ බලනයි. උඩරට ඇතුළු වෙන මගීන් වෙළෙඳුන් පරීක්ෂා කිරීම සඳහා වූ බලන ආරක්ෂක මුර කපොලු බලන කොටුවට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි බව කියවේ. බලන ඉතිහාසය බැඳී ඇත්තේ විමලධර්මසූරිය රජු සමගය. 1594 දී උඩරට ආක්‍රමණයට පැමිණි පේරෝ ලොරපස්ස ද සවුසා සමග පැමිණි පෘතුගීසි හමුදාව අන්ත පරාජය කළ විමලධර්මසූරිය රජු ඔවුන්ගේ රාජ්‍ය උරුමක්කාරී වූ කුසුමාසන දේවිය හිමි කර ගත්තේය. වර්ෂ 1603 සටනේදී රජු උපායශීලීව පසුබැසීම නිසා තාවකාලිකව බලන කොටුව පෘතුගීසින් සතු වුණත් පෘතුගීසි පරාජය කර සිංහල හමුදාව රජු හා එක්ව සටන් කිරීම නිසා බලන නැවත සිංහලයන් සතු විය. බලන කොටුව අවසන් වරට යටත් කර ගත්තේ 1815 ඉංග්‍රීසින් උඩරට යටත් කර ගැනීමෙන් පසු ලුතිනන් කර්නල් ඔ කොනල් විසිනි. ඉංග්‍රීසීන්ගේ පාලන සමයේය.
1924 දී ඉංග්‍රීසියෙන් කොළඹ-නුවර මාර්ගය ඉදි කිරීමට පසු බලන කොටුවට තිබූ වැදගත්කම ඉවත් වී පාළු කොටුවක් බවට පත් විය. නැවත බලන ගැන කියවෙන්නේ ඉංග්‍රීසි උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් පසු බලන දුම්රිය ස්ථානයක් ඉදි කිරීම නිසාය. උඩරට කෝච්චි පාර නිසා බලනට ලද වටිනාකම හොඳටම දැනුණේ හත් අට මාසයකට පෙර ආ දිට්වා ආපදාව නිසාය. එක රැයකින් උඩරට දුම්රිය මාර්ගය විනාශ වූයේ දිට්වා සුළි කුණාටුවෙන් මහ වැසි ඇද වැටී කඳු නාය ගිය නිසාය. ඒ විනාශයෙන් පසු අද දක්වා නුවරට කෝච්චි යන්නේ නැත. නුවරට කෝච්චි යළි යන්නට පාර හදාගෙන ගියද පරහට ඇත්තේ බලන හා කළු පාලමේ විනාශය ය.
දිට්වාව නිසා කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ආපදාවට ලක්විය. ආපදාවෙන් දින 23 තුළ කොළඹ සිට රඹුක්කන දක්වා දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කර දුම්රිය ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව සමත් වුවද බලන යළි පෙර තත්ත්වයට පත් කිරීම හිතූ තරම් ලේසි වූයේ නැත. මේ නිසා කොළඹ-නුවර පාරට සෑහෙන දුරකින් පිහිටි බලන, වෙරළුගොල්ල වැනි ගම්මානවල ජනතාවට යන එන මං නැති වූවේය. ඉස්සර කෝච්චියේ රුපියල් හතළිහකින් කඩුගන්නාවට පැමිණි ඔවුන්ට දුම්රිය නොමැති නිසා දැන් ඒ ගමනට දිනකට රුපියල් 240 වැය කිරීමට සිදුවේ. කලින් දුම්රිය ස්ථානය අසලටම පැමිණි බසයට නැගීමට දැන් කිලෝ මීටරයක් පමණ පයින් යා යුතුය. වෙරළුගොල්ල අසල සිට කොළඹ නුවර පාරේ පහළ කඩුගන්නාවේ නාය ගිය ස්ථානයට අතුරු මාර්ගයක් තිබුණත් බලන සිට කොළඹ-නුවර පාරට එන අය කිලෝ මීටර දෙකක් වැඩිදුරක් පයින් ගමන් කළ යුතුය.
දවල් කාලයේ ගියත් ඒ ගමනට විදුලි පන්දමක් ඕනෑය. ඒ ගමන වැටී ඇත්තේ අන්ධකාරයෙන් පිරුණු දිග බිංගෙයක් තුළින් නිසාය. බලන බලන්නට ලියුම්කරු කඩුගන්නාවේ සිට ගියේ නාය ගිය බලන ගොඩනැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනයන දුම්රියක නැගීය. උඩරට දුම්රිය මාර්ගයේ නුවර පැත්තෙන් ප්‍රධාන පාරට කිට්ටුවේ ඇත්තේ කඩුගන්නාව දුම්රිය ස්ථානය ය. එතැනට ගෙන එන කළු ගල්, යකඩ කම්බි, සිමෙන්ති කෝච්චි පාර දිගේ බලනට ගෙන එන්නේය. එසේ බඩු ගෙන යන කෝච්චියක නැගී අප යන විට දුම්රිය බිංගේ තුළදී විදුලි පන්දම් එළියෙන් ගමන් කරන දියණියක් හා මවක් මුණ ගැසුණි. ඒ දෙන්නා යන්නේ නුවර පාරටය. ඉස්සර ඔවුන් නුවර පාරට යන්නේ කෝච්චියෙන් කඩුගන්නාවට ගොස්ය. කෝච්චි දුවන්නේ නැති නිසා ඔවුන්ගේ දැන් ගමන වැටී ඇත්තේ කෝච්චි පාර දිගේ බිංගය ඇතුළෙන් ගොස් පටු කොන්ක්‍රීට් පාර දිගේ පහළ කඩුගන්නාවට බැසීමය. මේ ගමනේදී ලියුම්කරු වෙරළුගොල්ල දුම්රිය නැවතුම අසල පෙට්ටි කඩේකට ගොඩ වුණෙමි. ඒ වෙලාවේ දුම්රිය මගේ වැඩ කරන සේවකයන් විස්සක් පමණ තේ පානයට පැමිණි සිටියහ. එම කඩය අනෝමා ධනවතී හා ඇගේ මව කරගෙන යන එකකි.
‘‘කෝච්චිය යන කාලේ අපි බත් පාර්සල් පහ හයක් කෝච්චියේ යන අයට දුන්නා. දැන් ඉතින් කෝච්චිය නැති නිසා මෙහාට මිනිස්සු එන්නේ නෑ. යන්තම් කඩේ කර ගෙන යන්නේ දුම්රිය පාරේ වැඩ කරන අය විස්සක් තිහක් දවසට තේ බොන්න එන ඒ නිසා. මේක තමා ගමේ පරණම කඩේ. අපිට ඉස්සර කඩුගන්නාවට යන්න ගිය රුපියල් හතළිහයි දැන් බස් එක ගියොත් රුපියල් 240 විතර වියදම් කරන්න ඕනෑ ත්‍රීවීල් එකට රුපියල් 1000 ක් 1500 ක් විතර යනවා. මේකෙන් ගොඩක්ම කරදර වුණේ දුර පාසල්වලට යන ළමයි හා රැකීරක්ෂාවලට යන අයට දැන් නගරයට පාසල් වෑන් එකටත් රුපියල් 5000 විතර ගන්නවා. නුවරට යනව නං 15,000 විතර ගන්නවා’’ අනෝමා කීවාය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන දිස්වූයේ ඇටසැකිල්ලක් සේය. ඒ, රේල් පාර ඉතිරි වී යට තිබූ පස් සම්පූර්ණයෙන්ම නාය ගොස් සෝදාගෙන පහළට රූටා යාම නිසාය. මින් පෙර දුම්රිය මාර්ගයට මෙවැනි විනශයක් වූයේ සුනාමිය ගැලූ වෙලාවේදීය. එනමුත් දුම්රිය පාර හත් අට මාසයක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ලැබුණේ ගොඩබිමෙන් දුම්රිය මාර්ගයට ප්‍රවේශ මර්ග තිබූ නිසාය. එනමුත් උඩරට දුම්රිය මාර්ගයේ බලනට එහෙම සැපයුම් මාර්ග නැත. තිබෙන පාරෙත් බර වාහන යන්නට බැරිය.
උඩරට දුම්රිය මාර්ගයේ ආපදාවට පත් වූ ස්ථාන 97න් ස්ථාන 92 ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ නිර්දේශය අනුව දුම්රිය දෙපාර්තමේන්තුව යථා තත්ත්වයට පත් කරමින් පවතී. නමුත් කඩුගන්නාවේ සිට ඉහළකෝට්ටේ දක්වා වූ දුම්රිය මාර්ගය වෙරළුගොල්ල එක ස්ථානයක් බලන දුම්රිය පොළ ආසන්නයේ ස්ථාන 03 හා බලන ඉහළකෝට්ටේ අතර එක් ස්ථානයක් ලෙස ස්ථාන 05 ක් දැඩි ලෙස නයෑමට ලක්ව තිබුණ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රමාද විය. ඒ මෙම ස්ථාන වෙත අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රියේ සහාය කෙසේවත් ගැනීමට නොහැකි වීම නිසාය. කඳුරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමට එකවර සේවකයන් යෙදීමට සිදුවීම හා අවශ්‍ය කරන හා තාක්ෂණික උපකරණ හිඟවීම දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ උපදෙස් හා අධීක්ෂණය මත පෞද්ගලික අංශයේ සහාය ගැනීමට රජය තීරණය කරන ලදී.
ඒ අනුව ඉහළ කෝට්ටේ සිට කඩුගන්නාව දක්වා නාය ගොස් ඇති ස්ථාන පහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් භාර ගෙන තිබිණි. එම සමාගමේ වැඩබිම් ඉංජිනේරු තිළිණ ස්වර්ණමාල් ප්‍රකාශ කළේ විශාල උපකරණ තිබුණත් ඒවා ලබා ගැනීමට ප්‍රවාහනය මාර්ග පහසුකම් නොමැති වීම විශාල දුෂ්කරතාවක් බවයි. මාර්ගයෙන් ළඟා විය හැකි එකම මාර්ගය කඩුගන්නාව බලන මාර්ගයයයි. එම මාර්ගයද ඉතාම පටු නිසා විශාල යන්ත්‍රෝපකරණ ගෙන ඒමට නො හැකි වූ අතර ඇතැම් යන්ත්‍ර සූත්‍ර දිවා කාලයේ ප්‍රවාහනය කිරීමෙන් මහජනතාවට අපහසුතාවක් වළකා ගැනීම සඳහා රාත්‍රි කාලයේ ප්‍රවාහනය කර ඇත.
කළු ගල් හා සිමෙන්ති යකඩ හා අනෙකුත් උපකරණ ප්‍රවාහනය සඳහා කියුබ් තුන හමාරේ ට්‍රක් රථ මෙම මාර්ගවල ධාවනය කිරීමට නොහැකි වීම නිසා කියූබ් එක ප්‍රමාණයේ ටිපර් රථ යොදා ගැනීමට වීමෙන් එක ගමන් වාරයකින් ප්‍රවාහනය කරන භාණ්ඩ ගැනීමට වාර තුනක් යෑමට සිදු විය. කිලෝමීටර 09 පමණ දුර සිට කළු ගල්, ප්‍රවාහනය කිරීමට සිදුවීම නිසා එසේ භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වුණේ බලන දුම්රිය ස්ථානය ආසන්නයට පමණි. එතැන් සිට නාය ගිය ස්ථානයට ප්‍රවහනය කිරීමට ක්‍රමවේදයක් නොමැති නිසා දුම්රිය මාර්ගයේ සිල්පර කොට හා දුම්රිය පීලි ගලවා දුම්රිය මාර්ගය මහා මාර්ගයක් බවට පත් කර ටිපර් රථවලින් ප්‍රවාහනය කළත් ටිපර් රථ යාමට නොහැකි ස්ථාන වෙත යාමට ට්‍රක් ඩම්පර් රථය යොදා ගෙන තිබිණි' බලන සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වෙරළුගගොල්ල නාය ගිය ස්ථානයට ටිපර් රථවලින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි වූයේ එම ස්ථානයේ ඇති දුර මීටර් දෙසීයක් පමණ දිග උමගකින් ගමන් කිරීමට සිදුවීමයි. එම දුෂ්කරතාව මග හරහා ගැනීම සඳහා මහනුවර තිබූ එන්ජිමක් මහා මාර්ගයෙන් එතැන් සිට කඩුගන්නාවට ගෙන යන ලදි. මේ අනුව වෙරළුගොල්ල නාය ගිය ස්ථානය සඳහා කඩුගන්නාවේ සිට කළු ගල් හා අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරේ. මෙසේ මහා මාර්ගයෙන් ගමන් කළ නොහැකි ඉහළකෝට්ටේ නාය ගිය ස්ථානයට දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කළ බව තිළිණ ස්වර්ණමාල් ප්‍රකාශ කළේය.
ඉහළකෝට්ටේ හා බලන නායගිය ස්ථාන දෙක ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ අවසන් කිරීමට මේ මාසයේ හැකිවනු ඇති බව ඉංජිනේරුවන්ගේ විශ්වාසයය. ඉක්බිතිව දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මාර්ගය පිළිසකර කළ යුතුය.
මේ මොනවා කළද රඹුක්කන සිට යළිදු වරක් මහනුවරට කෝච්චි යන දවස තවමත් හරියට කියන්නට බැරිය. හේතුව පේරාදෙණිය කළු පාලම පරහට සිටීමය. ගංවතුරෙන් ඇදවූ කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙමින් තිබියදී ඒ වැඩ දෙතුන් සතියකට ඉහතදී යළිත් වරක් ගැලූ මහ වතුර නිසා අඩපණ වූවේය. එසේ බලන විට උඩරට මැණිකෙට, පොඩි මැණිකෙට යළිදු වරක් නුවරට යාමට තව ඉවසීමට සිද්ධ වනු ඇත.

