brand logo
logo
 සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

06 October 2026


බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා පවසයි.


ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් පළවන විවිධ මත ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින්ය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා,


"මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක. සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි.


බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක. එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබා දිය හැක.

නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.


ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර, එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි. "

 

More News..