නවක අධ්‍යක්ෂවරු අපේ වටිනාකම දන්නේ නැහැ
18 June 2025 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
නවක අධ්‍යක්ෂවරු අපේ වටිනාකම දන්නේ නැහැ
18 June 2025 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
සනෝජා බිබිලේ කියන්නේ සිනමාවේ වගේම පුංචි තිරයේ අමතක නොවන චරිතයක්. සනෝජාව මේ දිනවල නිර්මාණවලින් දැකගත නොහැකි වුණාට ඇය කලාව වෙනුවෙන් කළ සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙල නිසා ඇය ගැන නිතරම කතා වෙනවා. මේ නිසාම නිමාව දුටු සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙලේ අභියෝග සහ සනෝජා බිබිලේ කියන භූමිකාව ගැන කතා කරන්න අපි හිතුවා. වෙහෙසකර දවසකින් පසුව ඇය අප හා එකතු වුණා.
ඇත්තටම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි කිව්වට වැරැද්දක් නැහැ. මොකද සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙල මං කරන්නේ තනිවම. මගේ කණ්ඩායමත් එක්ක. ඒකට ලොකු පිරිවැයක් දරන්න වුණා. ඒ වෙනුවෙන් මේ දවස්වල මගේ කණ්ඩායම එක දිගට වැඩ කළා. කොහොමත් මේ දවස්වල රූපගත කිරීම්වලට නම් සහභාගි වෙන්නේ නැහැ.
සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙල සාර්ථකව නිම කිරීම සහ මුහුණ දුන් අභියෝග ගැන සනෝජා අදහස් එකතු කළා.
වෙලාවකට මට හිතෙනවා ඇයි මම මේ වගේ දෙයක් ආරම්භ කළේ කියලා. මොකද මේක ලෙහෙසි පහසු කාර්යයක් නෙවේ. නමුත් වැඩේ කරලා ඉවර වුණාම හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. අපේ සභාපති සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා සහ කණ්ඩායමත් ලොකු කැපකිරීමක් කරනවා. විශේෂයෙන් මේ සඳහා අනුග්‍රාහකයන් සොයාගැනීම ලොකු අභියෝගයක්. විශාල මුදලක් වියදම් වෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ කලාවට යුතුකමක් කළා කියන සැනසීම විතරයි.
ඒ වගේම මම තාත්තා සුමිත් බිබිලේවත් මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා. මගේ තාත්තා ජීවිතේ අවසාන කාලයේ මේ සංකල්පය ගැන මා සමග කතා කළා. ඔහු මැරෙන්න මොහොතකට කලින් මගෙන් ඉල්ලීමක් කළා. මේ දේ කරන්න කියලා. ඔහුගේ ඉල්ලීම මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා. දුවෙක් හැටියට තාත්තගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ලැබීම ලොකු සතුටක්.
හොඳ දෙයක් කරන්න පටන්ගත්තොත් ඒ දේට ලැබෙන චෝදනාවලින් අපේ රටේ අඩුවක් නැහැ. මේ කාර්ය ඉදිරියට රැගෙන යන විට ඇයටත් චෝදනාවලින් නම් අඩුවක් දැනිලා නැහැ.
සම්මාන උළෙල කරලා ඉවරවෙනකල් ප්‍රශ්නවලින් නම් අඩුවක් තිබුණේ නැහැ. පටන් ගත්ත දවසේ ඉඳලා ඉවරවෙනකම් චෝදනා තිබුණා. මට හිතාගන්න බැහැ ඇයි මිනිස්සු මේ තරම් කුහක කියලා. කොච්චර දෙයක් කළත් උදව් කරන අයට වඩා ඉන්නේ අඩුපාඩු කියන අය. ඒක මේ රටේ හැටි වෙන්න ඇති. මේ සම්මාන උළෙල නතර කරලා දාන්න හිතුන වාර අනන්තයි. නමුත් මම ළඟම හිටිය කිහිපදෙනෙක් මාව දිරිමත් කරනවා ඔයා මේක කොහොමහරි කරන්න ඕනේ කියලා. ඉතාලියේ ඉන්න ක්‍රිෂාන්ත ජයකොඩි මහත්තයා කිව්වේ ඔයා මේක දිගටම කරන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් මගේ තාත්තගේ කැමැත්ත. ඒ නිසා මොන ප්‍රශ්න ආවත් මේ වැඩේ අත්හරින්න හිතන්නේ නැහැ. ඒ නිසා මෙවර වගේම ඉදිරියටත් සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙල නතර කරන්නේ නැහැ. ඉදිරියටම අරගෙන යනවා. අනිත් අය මොනවා කිව්වත් මාව අසාර්ථක කරන්න බැහැ කියන එක ඔප්පු කරලා පෙන්නලයි ඉන්නේ.
සනෝජාගේ ධෛර්ය ගැන නම් කාන්තාවක් හැටියට සියලුම දෙනා ආඩම්බර විය යුතුයි. ඇය මෙවන් සත්කාර කරමින් ක්ෂේත්‍රයේ රැඳී උන්නත් සනෝජා කියන නිළිය ප්‍රේක්ෂකයන්ට කිසිම දිනක අමතක කරන්න බැහැ. ඇය රංගනයට තැබූ මතක කාටත් අමතකව ගොස් නැහැ. සනෝජා බිබිලේ කියන නිළිය ගැනත් ඇය අවසාන වශයෙන් අදහසක් එකතු කළා.
රංගනය ගැන මම අවධානය යොමු කළත් අපිට ගැළපෙන චරිත ලැබෙන්න ඕනේ. ඒ වගේම රඟපාන චරිතයට නිසියාකාර මුදලක් ලැබෙන්න ඕනේ. නමුත් දැන් ඒ දේ ඒ විදිහට ඉෂ්ට වෙනවද? කියන ප්‍රශ්නය තිබෙනවා. කොහොමවත් දැන් ඉන්න නවක අධ්‍යක්ෂවරු අපේ වටිනාකම දන්නේ නැහැ. ඒකට මම මොනවා කරන්නද? අද නිර්මාණ බිහිවෙන ආකාරය දැක්කාම හරිම කනගාටුවක් තියෙන්නේ. නළු නිළියන්ගෙන් වැඩ ගන්නේ කිසිම ප්‍රමිතියකට නෙවේ. මගේ ප්‍රේක්ෂකයෝ මගෙන් අහනවා රඟපාන්නේ නැත්තේ ඇයි කියලා. ඇත්තටම රඟපාන්න පුළුවන්. තාමත් රඟපාන්න කැමැතියි. අනික් දේවලුත් ඒ ආකාරයට ඉටු නොවෙනකොට කොහොමද රඟපාන්නේ. මම හිතන්නේ මට ආරාධනා නොකරන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම කළා කියලා මගේ ගමන නතර වෙන්නේ නැහැ. මට පුළුවන් ආකාරයට කලාව වෙනුවෙන් ලබාදිය හැකි යුතුකම සේවාව කරනවා. සිල්ව ස්ක්‍රීන් සම්මාන උළෙල හරහා අනෙක් අයට අමතක වුණ ලොකු යුතුකමක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තටම මට සතුටුයි.