brand logo
logo
තාර හිඟයක් -මාර්ග සංවර්ධන අධිකාරිය

තාර හිඟයක් -මාර්ග සංවර්ධන අධිකාරිය

15 September 2026 | ශිරාන් රණසිංහ


මෙරට මාර්ග සංවර්ධනය සඳහා මසකට තාර මෙට්‍රික් ටොන් 20,000 ක පමණ අවශ්‍ය වුවත් මේ වන විට ඇත්තේ තාර මෙට්‍රික් ටොන් 200 ක පමණ ප්‍රමාණයක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි ‘‘අරුණ’’ට පැවසීය.


මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉකුත් පෙබරවාරි සිට මෙරටට අවශ්‍ය තාර ආනයනය කිරීමට බාධා මතුවී ඇතැයි ද එනිසා රට තුළ තාර හිඟයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.


මේ හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතුවලට බාධා මතුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය. එහෙත් රට පුරා මාර්ග සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් තාර නොමැති නිසා මාර්ගවල වැඩකටයුතු අවසන් කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.


ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික, දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන තාර ඇත්තේ මැදපෙරදිග කලාපයේ බවත් මේ වන විට චීනයේ තාර සාම්පල්වල ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ සිදුවන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.


කෙසේ වෙතත් විකල්ප ක්‍රම හරහා තාර ආනයනයට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

 

More News..