2026 වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක්
30 July 2026
2026 වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක්
30 July 2026
2026 වසරේ පළමු මාස හය තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා සියයට 27කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ අයවැය හිඟයක් වෙනුවට රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ 2026 ජනවාරි-ජුනි රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ සඳහන් වේ.
2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟයක් වාර්තා වූ අතර, මෙවර අතිරික්තයක් වාර්තා වීම සඳහා රාජ්‍ය ආදායම සියයට 27කින් ඉහළ යාම සහ රාජ්‍ය වියදම් විධිමත් කිරීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
2026 වසරේ පළමු මාස හය තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,710.6ක් දක්වා, එනම් රුපියල් ට්‍රිලියන 2.71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 25.9ක වර්ධනයකි.
වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 4.91ක් වන අතර, පළමු මාස හය තුළ එහි සියයට 55.2ක් සපුරා ගැනීමට රජය සමත් වී තිබේ.
බදු ආදායමෙන් වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වන අතර, එම ආයතනය රුපියල් බිලියන 1,290ක ආදායමක් රැස්කර තිබේ. එය සමස්ත බදු ආදායමෙන් සියයට 48ක් පමණ වේ.
දෙවැනි වැඩිම දායකත්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති අතර, එමඟින් රුපියල් බිලියන 1,248ක ආදායමක් උපයා තිබේ. එය සමස්ත බදු ආදායමෙන් සියයට 46ක් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 138ක ආදායමක් උපයා ඇති අතර, අනෙකුත් ආදායම් මාර්ගවලින් රුපියල් බිලියන 35ක් එකතු කර තිබේ.
රේගු ආදායම තුළ ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය වූයේ ආනයන මත අය කරන එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර, එමඟින් රුපියල් බිලියන 443.7ක ආදායමක් උපයා තිබේ. එය 2025 වසරේ එම කාලයේ වාර්තා වූ රුපියල් බිලියන 354ට සාපේක්ෂව සියයට 25ක වර්ධනයකි.
මෝටර් රථ මත අය කළ බද්දෙන් ලැබූ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 129.1ක සිට රුපියල් බිලියන 266.4ක් දක්වා, එනම් සියයට 106.5කින් වර්ධනය වී තිබේ.
රේගුව විසින් අය කරන සමස්ත බදු ආදායමෙන් සියයට 63ක්ම මෝටර් රථ ආනයනය මත අය කරන බද්දෙන් ලැබී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්කරන ලද ආදායම් අතරින් ආදායම් බද්ද ප්‍රධාන ස්ථානයක් ගෙන ඇති අතර, එමඟින් රුපියල් බිලියන 568.4ක ආදායමක් උපයා තිබේ. එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමකි.
සමාගම් ආදායම් බද්ද සියයට 26කින් ඉහළ ගොස් ඇති අතර, පුද්ගල ආදායම් බද්ද සියයට 15කින් වර්ධනය වී තිබේ. එමෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මත අය කරන VAT ආදායම සියයට 26කින් සහ සමාජ ආරක්ෂණ දායක බද්ද සියයට 15කින් ඉහළ ගොස් ඇත.
මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් මත අය කළ සුරාබදු ආදායම සියයට 27කින් ඉහළ ගොස් රුපියල් බිලියන 137.5ක් දක්වා වර්ධනය වී තිබේ.
බදු ආදායමට අමතරව බදු නොවන ආදායමද සියයට 43.6කින් ඉහළ ගොස් රුපියල් බිලියන 243.6ක් දක්වා වර්ධනය වී ඇති අතර, සමස්ත රාජ්‍ය වියදම සියයට 7.9කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.95කට ආසන්න වී තිබේ.
පුනරාවර්තන වියදම් සියයට 6.5කින් සහ ප්‍රාග්ධන වියදම් සියයට 23.6කින් ඉහළ ගොස් ඇති අතර, පොලී ගෙවීම් සියයට 2කින් පහළ ගොස් රුපියල් බිලියන 1,234.6ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1කින් වර්ධනය වී ඇති බවද, එය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.7ක වර්ධනයට වඩා ඉහළ අගයක් බවද රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ සඳහන් වේ.

