brand logo
logo
භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

24 October 2026

භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.


අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කර තිබේ.

යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතුය.


අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුය. එම කාලසීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.


සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබා දිය යුතුය. කෙසේ වෙතත්, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එලෙස සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ.


නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය සඳහා, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් (07) ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතුය.


වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ මුදාහැරීමේදී ද මෙම නියෝග අවශ්‍ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බව එම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

More News..