පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම්ගෙන් අධිකරණයට මෝසමක්
12 October 2026 | කේ.එස්. උදයකූමාර
පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම්ගෙන් අධිකරණයට මෝසමක්
12 October 2026 | කේ.එස්. උදයකූමාර
මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගව කර්මාන්තය සඳහා වෙන්කර තිබූ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කිරීමට එරෙහිව එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. රාසමානික්කම් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (12) මෝසමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියා සිටින්නේ අදාල දිස්ත්‍රික්කයේ කිරි ගව කර්මාන්තය සඳහා වෙන්කර තිබූ තෘණ බිම් වල අනවසර වගා කටයුතු සිදු කිරීමට එරෙහිව තමන් 2021 වසරේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.
එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අදාළ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කරන පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එම වකවානුවේ මහවැලි අධිකාරිය විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබූ බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව අදාළ අනවසර වගාකරුවන් ඉවත් කිරීමට කටයුතු කෙරුනු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේ තිබියදී මෑතකදී නැවතත් අදාල තෘණ බිම් වල අනවසර වගා කිරීම් කටයුතු සිදු වී ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ තුළින් කිරි ගව කර්මාන්තයට විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.
ඒ අනුව තමන් විසින් 2021 වසරේ ගොනු කළ අදාල නඩුව යළි කැඳවා මෙම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය කරන නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් මහතා සිය මෝසම තුළින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

