උප්පුවේලි වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
08 November 2026
උප්පුවේලි වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
08 November 2026
උප්පුවේලි, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පසුගිය නොවැම්බර් 02 වනදා රාත්‍රී කාලයේ කප්පල්තුරේ හන්දිය දෙසට ධාවනය වූ කුලී ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙසේ වෙඩි තබා පලාගොස් තිබුණි. මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙකු තුවාල ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකා (STF) කඳවුරේ නිලධාරීන් විසින් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කරන ලදී. එහිදී ලද විශ්වාසදායක තොරතුරකට අනුව, නොවැම්බර් 06 වනදා රාත්‍රියේ දික්වැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි විය.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ඝාතනයට තැත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට පත් වූ මෙම වෙඩික්කරු වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. පසුව සිදුකළ තොරතුරු අනාවරණය කරගැනීම්වලදී හෙළි වී ඇත්තේ මොහු මීට පෙර යුද හමුදාවේ සේවය කර නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු බවයි.
මේ අතර, සිද්ධියට සම්බන්ධ දෙවන සහ තෙවන සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 02 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 800ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සිද්ධියට ඔවුන්ගේද සෘජු සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 24, 28 සහ 34 යන වයස්වල පසුවන දික්වැල්ල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. උප්පුවේලි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වයි.

