brand logo
logo
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ශ්‍රී ලංකාවට වාසියක් වූ හැටි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ශ්‍රී ලංකාවට වාසියක් වූ හැටි

20 August 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක


මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා සමස්ථ ලෝකයටම අහිතකර බලපෑමක් ඇති වුවද, එය ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත කිරීමට සමත් වී තිබේ.


ඒ අනුව ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14 ක්, එරට සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත් එතැන් සිට අඩි 40 ක් දිග බහාලුම් 07 ක බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ඉන්පසු ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා, කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන තිබීමයි.


මෙම එක් මෝටර් රථයක අවම මිළ ශ්‍රි ලංකා රුපියල් කෝටි 50 ක් වන අතර එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල, රුපියල් කෝටි 100 ක් පමණ වන බවත් , ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය නිසා ශ්‍රී ලංකාවට ද ආර්ථික වශයෙන් වාසිදායක තත්වයක් උදා වෙමින් පවතින බවත් , මෙම මෝටර් රථ ප්‍රවාහනය සදහා භාර ගෙන ඇති ඩෙන්මාර්කයට අයත් සමාගමේ ප්‍රකාශකවරයෙකු පැවසීය.


මෙම මෝටර් රථ මීට දින කීපයකට පෙර හම්බන්තොට වරායට ගෙනැවිත් තිබූ අතර හෙට (21) දින උදෑසන මෙම මෝටර් රථ තොගය රැගත් ගුවන් යානය ඩුබායි සහ දෝහා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය.


එහෙත් රටට වැඩදායක මෙම සිදුවීම වාර්තා කිරීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගිය මාධ්‍යවේදීන් හට ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් අවශ්‍ය සහාය නොමදව ලැබුණ ද , මෙම ගුවන් ගත කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයෙහි සේවයේ නිරත ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීවරුන්ගෙන් , මාධ්‍ය වාර්තාකරණය සදහා අවසරය හිමි නොවූ අතර අප මාධ්‍යවේදීන් වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම කනගාටුදායක සිදු වීමකි.


එහෙත් මෙම සිදුවීම ඒ අවට රැස් වී සිටි විවිධ පිරිස් විසින් තම ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් ජයාරූප ගැනීම සහ වීඩියෝ ගත කිරීම සිදු කරමින් සිටියහ. 



 

More News..