ශ්‍රී ලංකා බෝන් අගේන්
15 August 2026 | සුන්දර නිහතමානි ද මැල්
ශ්‍රී ලංකා බෝන් අගේන්
15 August 2026 | සුන්දර නිහතමානි ද මැල්
පත්තරේ අන්තිම පිටුව පෙරලූ මගේ බිරිඳ එකවරම කෑගසන්නට පටන් ගත්තාය.
"මේ බලන්නකො ඉන්දු-ලංකා ටෙස්ට් මැච්චෙකට අවුරුදු තුනකින් ටෙස්ට් නොගහපු නිරෝෂන් දික්වැල්ල දාලනෙ" ඈ කියවන්නට වූවාය. "විකට් කීප් කරන්න අච්චර හොඳ අලුත් කොල්ලෙක් ඉඳැද්දි මොකක්ද මේ කරල තියෙන අලුගුත්තේරු වැඩේ."
ඒ ආරංචියෙන් මා එක්වරම කලබල වූයේ නැත.
"ඒත් නෝනා හැමෝම වර්ණනා කරන අලුත් ක්‍රිකට් පාලක මණ්ඩලේ මෙහෙම වැඩක් කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති නේද ?" මම බිරිඳගෙන් ඇසුවෙමි ."ඒගොල්ලො ඇස්වහ කටවහ යන්න කියල බැණුම් අහන්න සිද්දවෙන වැඩක් කරා වෙන්න බැරිද?"
මගේ අන්තිම වාක්‍යයෙන් බිරිඳ කෝප වූවාය.
"රෙද්ද තමයි" බිරිඳ නොරිස්සුමෙන් කීවාය. "තමුසෙත් හැමදාම ආණ්ඩුවෙ දොහාපොලේ හොය හොය ඉන්නෙ නැතුව ලියනවකො මේ සැරේ මානිගෙ තීරුව ඕක ගැන. කිසිම දියුණුවක් පෙන්නල නැති හැමදාම විනය විරෝධී වැඩ කරන හාදයෙකුට ඔහොම තැන දීම වැරදියි කියල."
"සම්පූර්ණ ඇත්ත" මම එවර ඈ සමග එකඟ වීමි. "ෂම්මි සිල්වා අයින් කරල එරාන් වික්‍රමරත්න ගෙනාවෙ හොඳට කරයි කියලනෙ. ඔය කරේ."
එවර බිරිඳ හෙමිහිට මා ළඟට කිට්ටු වූවාය.
"මේකෙදි ඔයා හොයාගන්න ඕන කාරණයක් තියෙනව" ඈ මට කියා සිටියාය. "ඔය හාදයා බෝර්න් අගේන්ද කියල."
මට එකවරම කෑ ගැසුණේය.
"අම්මට සිරි! තව පොඩ්ඩෙන් වස වැරැද්දක්නෙ වෙන්නෙ" මම බිරිඳට කියා සිටියෙමි. "ඔයාගෙ ලණුව කාල මම ඕක ලිව්ව නම් මාර නෝන්ඩියයිනෙ."
බිරිඳට මගේ කතාව තේරුම් ගියේ නැත.
"ඇයි හලෝ අපේ අලුත් ක්‍රිකට් පාලක මණ්ඩලේ පරම්පරාවෙන්ම බෝර්න් අගේන්නෙ. ඒ කියන්නෙ මේ මෑන්ට ටීම්මෙකට එන්න ඕන හොඳම සුදුසුකම තියෙනව" මම බිරිඳට පැහැදිලි කර දුනිමි. "ඒ වගේ සාධාරණ හේතුවක් උඩ කරපු තේරීමක් ගැන අපි ප්‍රශ්න කිරිල්ල අසාධාරණයි නේද?"
බිරිඳගේ මුහුණ දුක්මුසු විය.
"කවුරු හරි මේවට විරුද්ධව කතා කරන්න ඕනනෙ" ඈ බිඳුණු හඬින් කියා සිටියාය. "ක්‍රිකට් ගහල තියෙනව කියන සජිත් බබා නම් පාර්ලිමේන්තුවෙ මේ ගැන ප්‍රශ්න කරයි නේද?’’
මට හිනා ගියේය.
"සජිතුයි එයාගෙ විපක්ෂෙයි දෙකම ඩෙඩ්නෙ නෝනා" මම බිරිඳට කියා සිටියෙමි. "දැන් ඒගොල්ලන්ටත් බෝර්න් අගේන් (ආයෙ උපදින්න) වෙන්නනෙ වෙලා තියෙන්නෙ."
බිරිඳ යළි කතා කළාය.
"ජනාධිපතිතුමා නඩුකාරයො ගැන සාකච්ඡාවෙදි කිව්වනෙ එයා ප්‍රශ්න දිහා විවෘත මනසකින් බලන්නෙ කියල" ඈ කියා සිටියාය. "මේ රටට නඩුකාරයොන්ට වැඩියෙ ක්‍රිකට් වැදගත් නිසා මේ ප්‍රශ්නෙ දිහා එයා විවෘත මනසකින් බලයිද දන්නෑ නේද?"
"නෝනා, උන්නැහේ ජනාධිපති වෙලා තමන්ගෙ ජනාධිපති ලේකම් පත් කරගන්න කොටත් එකම සුදුසුකම වුණේ යාළුකම" මම ඇයට මතක් කර දුනිමි. "එහෙව් සංවේදී මනුස්සයා කීයටවත් විරුද්ධ වෙයිද ක්‍රිකට් පාලක මණ්ඩලේ තමන්ගෙ එකාට ප්ලේස් දුන්නට."
"ඒ කියන්නෙ මේකට ආණ්ඩුව පැත්තෙන්වත් විසඳුමක් නෑ කියලද?"
"මේ ආණ්ඩුවත් බෝර්න් අගේන්නෙ හලෝ. 2024 සැප්තැම්බර්වලට කලින් හිටපු කට්ටිය නෙවෙයිනෙ දැන් ඉන්නෙ. ආයෙ අලුතින්ම ඉපදිලානෙ" මම කීවෙමි. "ඉතින් එහෙව් කොට ඒගොල්ලො ඔරිජිනල් බෝර්න් අගේන්ලට විරුද්ධ වෙන්නෙ කොහොමද?"

