brand logo
logo
භාගෙට භාගයක්ම ඩොලර් සඟවාගත් රබර් ගස්

භාගෙට භාගයක්ම ඩොලර් සඟවාගත් රබර් ගස්

16 February 2024

බ්‍රසීලයේ සහ දකුණු ඇමරිකානු කලාපයේ වැසි වනාන්තරවල හැදුණු ‘නාඳුනන’ ගසක් එවක විය. මේ ගස තුවාල වූ විට වෑහෙන දියරය ඝන බවට පත්වූ විට විශේෂ ගුණයක් දක්වන්නට විය. ඒ ඇදෙනසුලු බව සහ වතුරට නොපෙඟෙන බවයි. මේ ගස රබර් ගස ලෙසින් නම්විය. චාල්ස් ගුඩ්ඉයර් නමැති ඇමරිකානු ජාතික නව නිපැයුම්කරුවා මේ රබර් ගසෙන් වෑහෙන දියරයෙන් වඩාත් සවිශක්තිය සහිත නිෂ්පාදනයක් කරන ආකාරය ගැන වසර 5ක් එක දිගට වෙහෙසී සිටියදී අහම්බයෙන් මෙන් ‘වොල්කනයිසින් කිරීම’ නමැති ක්‍රමවේදය සොයාගැනීමත් සමග රබර් ගසෙන් වෑහෙන කිරට මහා වටිනාකමක් ලැබිණි. 1839 දී සිදුවූ මෙම සිදුවීම ලොව කාර්මික සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රය මහා විප්ලවයකට ලක් කළේය.


එහෙත් ඒ වන විටද රබර් ගස තවත් ‘වල් ගසක්’ පමණක්ම වූ බැවින් නිෂ්පාදන උදෙසා ඇති තරම් කිරි ලබාගැනීම තරමක් දුෂ්කර කාර්යයක් විය. රබර් ගස ක්‍රමවත් වගාවක් බවට පත්කිරීමේ අවශ්‍යතාව එවිට මතුවිය. රබර් ගසේ ස්වාභාවික නිජබිමේ එවක රැඳී සිටි ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවෙක් වන හෙන්රි වික්හැම් 1876දී රබර් ඇට 70,000ක් එකතුකර නැවකට පටවා එංගලන්තයට එව්වේය. තෙල් සහ කිරිගතියෙන් යුත් රබර් ඇට අත්ලාන්තික් සාගරය හරහා නිරුපද්‍රිතව ප්‍රවාහනය එතරම් පහසු කටයුත්තක් නොවීය. එංගලන්තයට පැමිණෙන විට ඉන් සෑහෙන කොටසක ජීවගුණය විනාශ වී තිබිණි. එහෙත් ඉතිරිය එංගලන්තයේ සුදුසු පරිසරයක් වූ කිව් උද්‍යානයේදී තවන් කෙරිණි.


1877දී මේ තවන් දමන ලද පැළ කිහිපයක් ඉන්දියන් සාගරය හරහා එවකට සිලෝන් ලෙසින් හැඳින්වූ අප රටට එවීය. ඒ අනුව අපි ආසියානු රබර් වගාවේ පුරෝගාමී රට බවට ශ්‍රී ලංකාව පත්වූ අතර සිංගප්පූරුවට සහ මැලේසියාවට රබර් පැළ ගෙන ගියේ ශ්‍රී ලංකාවෙනි. ආසියානු කලාපයේ රබර් වගාව සරුවට සිදුවිය. 19 වැනි ශතවර්ෂය අවසානයේ රථ වාහන නිෂ්පාදනය ඇරඹීමත් සමග රබර් කිරට දැවැන්ත ඉල්ලුමක් අලුතින් සකස්විය. 1905 වන විට ශ්‍රී ලංකාව සහ මැලේසියාවේ රබර් වගාව අක්කර තුන් ලක්‍ෂයක් දක්වා ව්‍යාප්ත විය. අදටද ලොව ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් 93%ක් නිපදවෙන්නේ ආසියාවේය. තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් ස්වාභාවික රබර් නිෂ්පාදනයේ ‘කප් ගැසූ’ රටවල් බවට පත්ව ඇති නමුත් අපේ රටේ රබර් වගාව දිනෙන් දිනම ශීඝ්‍රයෙන් පල්ලම් බැස්සේය. මෙයට දස වසරකට පෙර ‍ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් ලොව 7 වැනි තැන සිටි අප මේ වන විට සිටිනුයේ එහි 13 වැනි තැනය.


‘කපන්න කට්ටිය නැතිව කිරි කට්ට් අතහැරලා’ යනුවෙන් ඊයේ /’අරුණ’ වාර්තා කර ඇත්තේ රබර් වගාවේ මේ අවර ගමනට එක් ප්‍රධාන හේතු‍වකි. මෙරට රබර් ගස් මිලියන 35ක් වගාකර තිබුණද එයින් කිරි කැපෙනුයේ ගස් මිලියන 18ක පමණක් බව එම පුවතේ සඳහන්ය. අදාළ ඉලක්කම්වලට අනුව ගත්විට මෙරට රබර්ගස්වලින් ‘භාගෙට භාගයක්ම’ කිරි නොහලන නිකම්ම නිකම් ගස්ය. මෙයට හේතුව වී ඇත්තේ රබර් කැපීම පිණිස ශ්‍රමිකයන් නොමැති වීම බව රබර් වගා ක්ෂේත්‍රයේ නිලධාරීහු කෘෂිකර්ම ඇමැතිවරයා හමුවේ පවසා ඇත්තාහ.


රබර් කිරි කැපීම යනු විසි කැත්තක් දෙපැත්තට වනා වත්තක තණකොළ කපනවා වැනි දෙයක් නොව එය එක්තරා විදිහක කලාවකි. රබර් ගසෙන් කිරි ලබාගත යුත්තේ මල නොතළා රොන් ගන්නා සේය. එක් වරකට කිරි කැපීමේදී ඉවත් කරන පොත්තේ ඝනකම සෙන්ටිමීටර 0.25ක් හෙවත් අඟලකින් විස්සෙන් එකක (1/20) ප්‍රමාණයක් වේ. මෙයට වඩා ගැඹුරින් රබර් ගස තුවාල කළ හොත් ගස කිරි වරන්නේය. ඒ, අධික කිරි වහනය නිසා ගසට සිදුවිය හැකි හානිය නවතාලීමට ස්වයං ආරක්ෂා වීමක් ලෙසිනි. රබර් කිරි කැපීම ඉතා සීරුවෙන් සහ මනා ‘අත හුරුවකින්’ කළ යුත්තක් බව මෙයින් මොනවට පැහැදිලි වේ. ඒ අනුව රබර් කිරී කැපීම සඳහා මනා පුහුණු ශ්‍රමයක් අවශ්‍යය. මහ පාන්දර සිට ගස් වටේ කැරකෙමින් කූඩැලු දෂ්ටනයෙන් හැලෙන ලේ සහිතව, බරැති කිරි බාල්දි හිස තබාගෙන කරනු ලබන මේ කටයුත්ත සඳහා මනා දරාගැනීමක්ද අවශ්‍යය. මේ ‘දුෂ්කර ක්‍රියාව’ සඳහා වතුවල ලැයිමේ සිටි සහ ගමේ දරිද්‍රතාවයේ අන්තයේ සිටි කම්කරුවාට හැකි වුණිද, ඔවුන්ගෙන් පසු පරම්පරාව එයට සූදානම් නැත. නගරයේ සුපිරි වෙළෙඳසල්වල ඇති තරම් රැකියා තිබෙද්දී කිරි බාල්දි කරගසාගෙන, කූඩැල්ලන් එල්ලාගෙන දුක් විඳීමට වත්මන් පරම්පරාවට අවශ්‍ය නැත. එනිසා එන්න එන්නම රබර් කිරි කර්මාන්තයේ ශ්‍රම හිඟය වැඩිවනු මිස අඩුවනු නොපෙනෙයි.


එම කර්මාන්තය පිණිස මානව ශ්‍රමය තවදුරටත් යෙදවීමට අවස්ථාවක් නොමැති නම් කළ යුත්තේ කුමක්ද? ඉකුත්දා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය සහ මෙරට පුද්ගලික සමාගමක් එකතුවෙන් හඳුන්වාදුන් රොබෝ තාක්ෂණයෙන් කිරි කැපීමේ යන්ත්‍රය මෙයට වටිනා විකල්පයක් වනු ඇත. එම රොබෝ තාක්ෂණික කිරි කැපීමේ ක්‍රමවේදය, පුහුණු මිනිස් ශ්‍රමය යෙදවීමටත් වඩා කිහිප අතකින් වාසි සහිත බව කියැවේ. අද ලොව කෘෂි කර්මාන්තය ශීඝ්‍රයෙන් තාක්ෂණයට නතුවෙද්දී, ඒ ප්‍රවණතාවේ අවම තැනක සිටින රබර් වගාවට, එයින් මිදීම පිණිස මෙය අපූරු ප්‍රවේශයක්ද වනු ඇත.


රබර්වලට ආදේශක ලෙසින් කෘත්‍රිම රබර් යොදාගනු ලැබුවද, ලෝකය තාක්ෂණයෙන් පෙරට යද්දී ස්වාභාවික රබර් සඳහා ඇති ඉල්ලුම එන්න එන්නම වැඩිවනවා මිස අඩු නොවන බව කියැවේ. ඒ අනුව ස්වාභාවික රබර් සඳහා ඇති ඉල්ලුම සහ එයට සාපේක්ෂව එම මිල ගණන් ඉහළ යනවා මිස පහතට නොවැටෙනු ඇත. රබර් යනු මෙරටට වසරකට ඩොලර් බිලියනයක ආදායම් උපයා දෙන්නකි. එය අප රටට ආදායම් උපදවාදීම අතින් තේවලට පමණක් දෙවැනි වන වගාව විය. එයින් වෑස්සෙන්නේ කිරි නොව ඩොලර්ය. රටේ ඇති රබර් ගස්වලින් භාගයකම කිරි කැපෙන්නේ නැති නම් එයින් පැවසෙනුයේ ඒ ආදයමෙන් භාගයක්ම ගස් තුළම ක්ෂය වන බව නොවේද?


වරුසාව හේතුවෙන් වසරකට දවස් සියයක්වත් රබර් කැපීමට නොහැකි තෙත් කලාපීය රබර් වගාව වෙනුවට, මොනරාගල, බිබිල වැනි ප්‍රදේශවල එම වගාව ව්‍යාප්ත කරන අතරවාරයේ රොබෝ කිරි කපන්නකු හෝ යොදවා මේ ගසින් ඩොලර් වෑස්සීමට ඉඩ සැලසිය යුතුය. කිරි ගසක් යනු අපගේ සංස්කෘතියට අනුව වාසනාවන්ත ලකුණක් බව අමතක නොකරමු.

 

More News..