අලි මදිවට කොටි - චීන පාතාලය
30 July 2026
අලි මදිවට කොටි - චීන පාතාලය
30 July 2026
මේ දවස්වල බෙහෙවින් කතාව පාතාලය ගැනය. පාතාලය සහ කාවාඩිය ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ මාතර දෙවිනුවර විෂ්ණු දේවාලයේ පෙරහර පදනම් කරගෙනය. කාවාඩි නැට්ටුවන් වෙනුවෙන් පාතාලයෝ දෙදෙනෙක් එතෙර සිට පෙනී සිටියෝය. එහි වූයේ කාවාඩි පිළිබඳ ගැටලුවක් නොව මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුවකි. කාවාඩි පාතාලය පිළිබඳ මාතෘකාවේ උණුසුම යාමටත් පෙර මට එහි අවධානය යොමු වූයේ චීන පාතාල වැඩ ගැනය. මෙයට පෙරද මෙරට සිටින චීනුන්ගේ විවිධ අවකල් ක්‍රියාවන්, මැර වැඩ, මූල්‍ය වංචා, නීති විරෝධී අන්තර්ජාල කොල්ලකෑම් (හැකර් සෙල්ලම්) පිළිබඳ ඕනෑ තරම් සිදුවීම් අපි අසා ඇත්තෙමු. ඒ අතර චීනුන් චීනුන් මරා ගැනීම් පිළිබඳ තොරතුරු බෙහෙවි. ඒ සිදුවීම් අතර ලොමුදැහැගන්වන සිදුවීමක් පසුගිය දිනවල පොලිස් විමර්ශනවලින් රටට හෙළි විය.
මෙයට සතියකට දෙකකට පමණ පෙර පොලිසිය සඳහන් කළේ ගාලු මුවදොර පෝර්ට් සිටියෙහි එල්ලෙන පාලමක් මතට වී මාළු බාමින් සිටි චීන ජාතිකයකු තවත් චීන ජාතිකයන් පහළොස් දෙනකුගේ කල්ලියක් විසින් පැහැර ගෙන ලැබ තිබෙන බවය. පොලිසිය මුලින් සඳහන් කළේ එසේ පැහැර ගත් චීන ජාතිකයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවය. එහෙත් හදිසියේ ඇහැලියගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක යෙදුණු පොලිස් නිලධාරීන්ට ඝන කැලෑවක තිබී ගල්වලින් වසා දැමූ මළ සිරුරක් හමුවූ අතර එය පෙර කී පැහැර ගත් චීන ජාතිකයාගේ මළ සිරුර බව පසුව තහවුරු කරගැනීමට හැකි විය. දැනට හෙළි වී තිබෙන කරුණු අනුව චීන මැර කණ්ඩායම පෙර කී චීන ජාතිකයා පැහැරගෙන ඔහුගේ අත් පා ගැටගසා ඇහැලියගොඩ පැත්තේ කැලෑවකට ගෙන ගොස් මරා දමා කැලෑවේ තිබුණු ගල්වලින් සිරුර වසා දමා තිබේ.
මෙය ඉතා බරපතළ සිදුවීමක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කොළඹ වරාය නගරයෙන් පැහැර ගත් පුද්ගලයකු ඇහැලියගොඩ වැනි කොළඹින් තරමක් දුරබැහැර ප්‍රදේශයකට රැගෙන ගොස් මරා දැමීමට තරම් චීන මැර කණ්ඩායම සමත්වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් ඉතා පුහුණු එසේම ජාලගත සංවිධානාත්මක පිරිසක් බවයි. ලැබෙන තොරතුරු අනුව ඝාතනයට ලක් වූ චීන ජාතිකයා අන්තර්ජාල මුදල් වංචාවෙහි කෙළ පැමිණියෙකි. ඔහු එවැනි කණ්ඩායමක නායකයෙකි. මෙකී සොර කණ්ඩායම උපයා ගත් නීති විරෝධී මුදල් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාම සොර නායකයාගේ ඝාතනයට හේතු විය. මෙකී කතාවෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ එසේ නීති විරෝධීව මුදල් උපයන ඉතා සංවිධානාත්මක විදෙස් සම්භවයක් සහිත කල්ලි කණ්ඩායම් කිහිපයක් තිබෙන බවය. ඒ අතර මුලට පැමිණ තිබෙන්නේ චීන කල්ලිය. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කළ වැටලීම්වලින් එසේ නීති විරෝධී ජාවාරම්වල යෙදුණු චීන ජාතිකයන් රැසක් අත්අඩංගුවට ගත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත් එසේ කෙතරම් අත්අඩංගුවට ගත්තද, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ ද හතු පිපෙන්නා සේ නීති විරෝධී චීන කල්හි රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන්නේ කවර හේතු නිසාදැයි ආණ්ඩුව සලකා බැලිය යුතුය. විශේෂයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ සොයා බැලිය යුතුය. එහිලා කරුණු විමසා බැලූ අපට දැන ගැනීමට ලැබුණේ ලංකාවේ දුර්වල වීසා නීතිය එවැනි නීති විරෝධී කණ්ඩායම්වලට මෙරට තුළ පැලපදියම් වීමට ඉතා වාසි සහගත වටපිටාවක් නිර්මාණය කර තිබෙන බවය.
චීන ශ්‍රී ලංකා සබඳතාවලට තිබෙන්නේ දිගු ඉතිහාසයකි. ලංකාවේ කෝට්ටේ යුගයේදී මෙහි පැමිණි චීන නාවික සෙන්පතියකු ඇතුළු කණ්ඩායමක් එකල මෙරට සිටි කෝට්ටේ ප්‍රබල රජෙකු වූ වීර අලකේෂ්වර (හය වන විජයබාහු) ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පැහැරගෙන චීනයට ගෙන ගිය බව අපේ ඉතිහාසයේ සඳහන් වෙයි. එකල සිට මෙරට ක්‍රියාත්මක වූ විවිධ චීන සෙල්ලම් අප නොදන්නවා නොවේ. එහෙත් දැන් වර්ධනය වෙමින් තිබෙන පෙර කී ආකාරයේ චීන මැරකල්ලිවල ක්‍රියාකාරකම් චීන ශ්‍රී ලංකා සබඳතාවලටද නරක විදියට බලපාන බව අවධාරණය කළ යුතුය. එනිසා දෙරටම ඒ පිළිබඳ අවධානය යොමුකර දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.
ලෝකයේ කැනඩාව ඇතුළු විවිධ රටවල ඉතා බරපතළ ආකාරයේ චීන මැරකල්ලි ක්‍රියාත්මක වේ. එකී කල්ලි එම රටවලට පාලනය කරගත නොහැකි තැනට පත්ව තිබේ. ලංකාවේද චීන මැරකල්ලි චීන පාතාලයක් දක්වා වර්ධනය වී තිබෙන්නේ මුල් අවදිවල ඒවාට එරෙහිව දැඩි පියවර ගැනීමට අප රට අසමත් වීම නිසාය. එනිසා පමා වී හෝ චීන මැරකල්ලිවලට එරෙහිව දැඩි පියවර ගැනීමටත් එවැනි ක්‍රියාවලට සම්බන්ධ උදවිය රටින් පිටුවහල් කර යළි ඔවුන්ට මෙරටට ඇතුළු වීමට තිබෙන සියලු ඉඩකඩ වසා දැමීමටත් පියවර ගත යුතුය. එසේ නොවුණහොත් අපට සිදුවනුයේ අලි මදිවට කොටියයි කියමින් පසුතැවීමට පමණයි. අපේ රටේ සිරිත වනුයේ පැත්තක යන සර්පයන් රෙදි අස්සේ දමාගෙන පසුව කෑවෝ යැයි කෑවෝ යයි කෑගැසීමය.

