brand logo
logo
කුඩු සලිඳුගේ මුදල් අයකැමි අත්අඩංගුවට

කුඩු සලිඳුගේ මුදල් අයකැමි අත්අඩංගුවට

18 September 2026

මහා පරිමාණ මත්ද්‍රව‍්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් 'පානදුර කුඩු සලිඳු' නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරු සිය බිරිඳ සමග හොරයින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කරමින් සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හංදිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර යුවළ සතුව තිබී රුපියල් ලක්ෂ 63ක මුදලක්, හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 15,055ක්, නවීන පන්නයේ මුදල් ගනින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් හා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව‍්‍ය රැගෙන පුද්ගලයකු පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව ගුවන්තොටුපොළ හන්දියේ සිට ගාලු පාර දෙසට පැමිණෙමින් තිබූ ත්‍රීරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී ඒ පිටුපස කාන්තාවක්ද සිට තිබේ.

ත්‍රීරෝද රථ රියදුරුගේ, රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඔහු පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇතිවූ හැසිරීම් රටාවේ සැකසහිත බව හේතුවෙන් එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හොරයින් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

අනතුරුව එහි පිටුපස අසුනේ රැඳී සිටි කාන්තාවක් සන්තකයේ තිබූ සුපිරි වෙළෙඳසැළකින් නිකුත් කරන ලද බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මුදල් තොගය සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.

දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් අඹුසැමියන් බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ යෙදෙන අය බවට අනාවරණය වී තිබේ.

ඒ වෙනුවෙන් මාසික වැටුප ලෙස 150,000ක මුදලක් සලිඳු නමැත්තා ලබාදෙන බවත් සැකකරුවන් පවසා ඇත.

සැකකාර යුවල මීට වසර 2කට පමණ ඉහතදී පිළියන්දල හැඩගම ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පදිංචියට පැමිණ ඇති අතර, එම නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී මුදල් ගැනීමට උපයෝගී කරගත් නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රය සහ විද්‍යුත් තරාදියක්ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.

වයස අවුරුදු 26 හා 34 වයස්වල පසුවන අඹුසැමි යුවළගෙන් රැඳයුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමටත් නියමිතය.

 

More News..