brand logo
logo
ශ්‍රී ලාංකිකයින් වහල් සේවයේ යෙදවූ ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයින් වහල් සේවයේ යෙදවූ ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

22 July 2026

ශ්‍රී ලාංකිකයන් පිරිසක් වහල් සේවයේ යෙදවීම සහ ජාවාරම් කිරීමේ චෝදනා මත මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආපනශාලාවක හිමිකාර ශ්‍රී ලාංකිකයෙකු මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහජනතාවගෙන් ලත් පැමිණිල්ලක් සහ බුද්ධි තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක වූ මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මැඩලීමේ අංශය මගින් ජෙන්ජරොම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියානු ජාතික කාන්තාවක හා විවාහ වී දීර්ඝකාලීන වීසා මත එරට රැඳී සිටින 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

මෙම මෙහෙයුමේදී අදාළ ව්‍යාපාරිකයාගේ බන්ධනයට ලක්ව වහල් සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ද නිලධාරීන් විසින් මුදාගෙන ඇත.

මැලේසියානු ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කළේ, සැකකරු විසින් අදාළ කාන්තාවට මැලේසියාවේ රැකියාවක් සහ සේවා වීසා ලබාදෙන බවට මුලා කර ගෙනගොස් ඇයට අයත් ආහාරපාන සැපයුම් ආයතනයේ සේවයේ යොදවා ඇති බවය.

එහිදී ඇයට වැටුප් නොගෙවා, ප්‍රමාණවත් පරිදි ආහාර ලබා නොදී, ඇගේ ගමනාගමන කටයුතු පාලනය කරමින් ශාරීරික හිංසනයන් හා තර්ජනයන් සිදුකරමින් වහල් සේවයේ යෙදවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම මෙහෙයුමේදීම වලංගු ගමන් බලපත්‍ර හෝ වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටි වයස අවුරුදු 21 ත් 51 ත් අතර පසුවන තවත් ශ්‍රී ලාංකිකයන් හයදෙනෙකු එනම් පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට එරෙහිව මැලේසියාවේ මිනිස් ජාවාරම් සහ සංක්‍රමණිකයන් කූට ලෙස රැගෙන ඒම වැළැක්වීමේ පනත සහ ආගමන විගමන පනත යටතේ නීතිමය පියවර ගෙන තිබේ.

මිනිස් ජාවාරම් සහ ශ්‍රම සූරාකෑමට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියානු බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.


 

More News..