brand logo
logo
තුන්කොන් සටනේ දෙවැනි දිනුම වෙනුවෙන් ශ්‍රී ලංකා යෞවනියෝ අද පිටියේ

තුන්කොන් සටනේ දෙවැනි දිනුම වෙනුවෙන් ශ්‍රී ලංකා යෞවනියෝ අද පිටියේ

08 October 2026

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පාකිස්තාන, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරග වදින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තෙවැනි තරගය අද (8 වැනිදා) ෆයිස්ලාබාද්හිදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය සමග මින් පෙර පැවැති තරගය බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර අද තරගයත් ජයග්‍රාහි මානසිකත්වයෙන් තරග බිමට පිවිසෙනු ඇත.


මේ වන විට තරග වැදුණු තරග තුනෙන් දෙකක් ජයගෙන ඇති බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටින අතර තරග වැදුණු තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයත්, සත්කාරක පාකිස්තානය තරග වැදුණු තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. බංග්ලාදේශය තමන් පරාජයට පත් එකම තරගය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ අතර, ශ්‍රී ලංකාව සිය ප්‍රථම තරගය පාකිස්තානය හමුවේ පරාජයට පත් විය. පාකිස්තානය තමන් පරාජයට පත් තරග දෙකම බංග්ලාදේශය හමුවේ පරාජය වීම විශේෂත්වයකි.


මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් සමග තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව එක් කණ්ඩායම මූලික වටයේ තරග 6කට ක්‍රීඩා කරයි. සමස්ත මූලික වටයේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබති. අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතය.

 

More News..