Best News Website award
brand logo
logo
ඉන්දියාවට වාසි වූ වැරැද්ද නිසා ලොවම කතා කරන කාසියේ වාසිය

ඉන්දියාවට වාසි වූ වැරැද්ද නිසා ලොවම කතා කරන කාසියේ වාසිය

28 November 2026 | සසිත සේනානායක

කණ්ඩායම් ක්‍රීඩාවක් ආරම්භයට ප්‍රථමයෙන් සිදු කරන්නා වූ මූලික කර්තව්‍යයක් තිබේ. එනම් ප්‍රථමයෙන් තරගය අරඹන්නා කවුරුන් ද යන්න තීරණය කෙරෙන කාසියේ වාසිය උරගා බැලීමයි. අතීත සිරිලක මෙය හැඳින් වූයේ "නෝනා ද? පොල්ල ද? බලනවා" යනුවෙනි. එයද රසවත් අතීත කතාවකි. කතාවට මූලික වන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් ⁣වූ මෙසිරිලක භාවිත කරන්නට යෙදුණු 1889 වසරේ නිකුත් කෙරුණු, එවකට එංගලන්තයේ කිරීට⁣ය හෙබවූ වික්ටෝරියා රාජිනියගේ රුව සහිත 'සත කාලේ' කාසියයි. එහි එක් අන්තයක එම රුවත් අනෙත් පස සිරිලක කප්රුක බඳු පොල් ගසකට සමාන රූපයක් ද තිබුණේලු. එහෙයින් ⁣රාජිනියගේ රුව සහිත පැත්තට 'නෝනා' ලෙසත්, පොල් ගස පැවැති පැත්තට 'පොල්ල' ලෙසත් නම් කොට එයින් එකල විසුවෝ කාසියේ වාසිය උරගෑහ.


වත්මන් ක්‍රීඩා ලෝකය තුළ මෙම කාසියේ වාසිය යන්න ක්‍රීඩා තරගයටත් වඩා වැදගත් යමක් බවට පත්ව ඇත. ඒ එමගින් තරගයක තීරණයක් අනෙක් පස පෙරළිය හැකි බැවිනි. මේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවන්හි ද සිදූ වූ රසවත් අවස්ථා රැසකි. වැරදි ප්‍රකාශ, විනිසුරු තීරණ, නැවත නැවතත් උඩට විසිවන කාසි, ක්‍රීඩකයන්ගේ විරෝධතා පමණක් නොව, ක්‍රීඩා නීති හා ක්‍රියාපටිපාටි පිළිබඳ කතාබහක් පවා ඇති කළ සිදුවීම් මේ අතර තිබේ.


මෙම මතකයන් වෙත එකතු වූ නවතම සිදුවීම නම් ඉන්දු - පාකිස්තාන 'ඒ' කණ්ඩායම් අතර පසුගිය දා පැවැති තරගයේ විනිසුරු තීරණයෙන් අනතුරුව පාකිස්තාන නායකයා එයට අභියෝග කිරීමයි.

එම සිදුවීමට වෙත හැරෙන්නට ප්‍රථම තවත් යමක් එක් කළ යුතු ම ය. එනම් එකල නෝනා - පොල්ල ලෙස හැඳින්වූ කාසියේ දෙපැත්තට අද වන තුරු සිංහල භාෂාවේ ශ්‍රව්‍ය ගෝචර වචන දෙකක් නැත්තේය. ඇත්තේ 'සිරස' සහ 'අගය' යනුවෙන් පමණි. එබැවින් එයම මේ කතාවටත් එක් කරගෙන ඉදිරියට යමු.

සමාද් බලෙන් ඉල්ලා ගත් කාසියේ වාසිය


පසුගිය 22 වැනිදා කටාර්හි දෝහා නුවර පැවැති 'රයිසිං ස්ටාර්ස්' ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා සහ පාකිස්තාන 'ඒ' කණ්ඩායම් අතර තරගය ආරම්භ වීමටත් පෙර සිදුවූ සිදුවීමක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත්තේය.

ඉන්දීය කණ්ඩායමේ නායක තිලක් වර්මා කාසිය උඩට විසි කදරද්දී, පාකිස්තාන කණ්ඩායමේ නායක අබ්දුල් සමාද් තම තේරීම ලෙස 'Heads' යැයි ප්‍රකාශ කළේය.

කාසිය බිමට වැටුණු පසු තරග තීරකවරයා මුලින් ප්‍රකාශ කළේ 'Tails' යන්නයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට කාසියේ වාසිය හිමිවූ බව ප්‍රකාශ විය.

එහෙත් මෙවර කතාව එතැනින් අවසන් වූයේ නැත. පාකිස්තාන නායක අබ්දුල් සමාද් වහාම කාසිය පරීක්ෂා කළේය. ඔහුට පෙනී ගියේ කාසිය වැටී ඇත්තේ 'සිරස' (Heads) පැත්තට බවය.

ඒ අනුව ඔහු තරග තීරකවරයාට පැහැදිලිව ප්‍රකාශ කළේ, තමන් ඉල්ලූ පැත්ත නිවැරදිව ලැබී ඇති බවකි.

අවසානයේ තරග තීරකවරයා නැවත කාසිය පරීක්ෂා කර තම තීරණය නිවැරදි කළේය. කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායමට හිමිවිය. ඔවුහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. කාසියේ වාසිය සමග තරගයෙන්ද ලකුණු 48ක ජයක් පාකිස්තානයට හිමිවිණි

තරගයක් ආරම්භ කිරීමට පෙර සිදුවන කාසියේ වාසිය පවා මේ තරම් විශාල අවධානයක් දිනාගත හැකි බව පෙන්වූ මෑතකාලීනම සිදුවීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.

කාසියේ වාසිය උරගා බැලෙන කාසිය කුමක්ද?

ක්‍රිකට් තරගයක කාසියේ වාසිය උරගා බැලීමකදී එය සිදුකෙරෙනුයේ ක්‍රිකට් ඉපැදුණු එංගලන්තය වැනි රටක මුදල් ඒකකය වන පවුමකින්ද? නැතහොත් වෙනත් මුදල් ඒකකයකට අයත් කාසියකින්දැයි ක්‍රීඩා ලෝලීන්ට සිතිවිලි පහළවිය හැකිය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඒ සඳහා යොදාගැනෙනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සී ය විසින් ඒ සඳහාම නිර්මානය කළ විශේෂිත කාසියකිනි. සමහර විට එය විශේෂිත තරගාවලියක් නම් ඒ වෙනුවෙන්ම සැකසූ සමරු කාසිද වේ.

එම කාසි බොහෝ විට රන් හෝ රිදී ආලේපිත ලෝහ, ස්ටර්ලින් රිදී, තඹ පිත්තල හෝ මෘදු වානේ නැතහොත් මල නොබැඳෙන වානේ වැනි ලෝහවලින් නිෂ්පාදනය කෙරේ. තණතීරුව මත වැටුණු විට පහසුවෙන් හඳුනාගත හැකි වීමටත්, රූපවාහිනී කැමරාවලට පැහැදිලිව පෙනෙන ලෙසත් දීප්තිමත් හෝ පැහැදිලි වෙනසක් ඇති මතුපිට නිමාවක් යොදා ගැනේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 27 සිට මිලිමීටර් 40 පමණ දක්වා විශ්කම්භයෙන් යුත් මෙම කාසියක් ග්රෑම් 10ක පමණ බරින් යුක්ත වේ.

තරග තීරකවරයා විසින් මෙවැනි කාසියක් උඩදැමීමේදී එය පතිත වී ඇති පැත්ත කුමක්දැයි පියවි ඇසින් එකවර හඳුනාගැනීමට අපහසුද? නැතහොත් එය පතිතවී ඇති පැත්ත හඳුනාගැනීමට යම් අයාසයක් දරා බැලිය යුතුදැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකුගෙන් අප කළ විමසුමේදී “එහෙම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නැහැ. බැලූ බැල්මටම කාසිය වැටුණු පැත්ත කියන්න පුළුවන්“ යැයි කියා සිටියේය.

ඉහත තොරතුරු සහ අදාළ ක්‍රිකට් නායකයාගේ ප්‍රකාශයට අනුව පෙර සඳහන් කළ ඉන්දු පකිස්තාන ‘රයිසිං ස්ටාර්‘ තරගයේදී තරග තීරකයාට කාසිය වැටුණු පැත්ත එකවර හඳුනාගැනීමට නොහැකිවීම යනු තරමක් අභව්‍ය අත්වැරද්දක් බව හැඟේ. එය ස්වභාවිකවම සිදුවූ අත්වැරැද්දක් වුව, ඉන්දියාවට වාසියක් වන ලෙසින් වූ වරදක් හේතුවෙන් තරග තීරකවරයාට ලෝකයා කියන කතන්දර සුළු නැත.

කාසියේ වාසිය තීරණය කිරීමේදී තරගවල සිදුව ඇති කතන්දරද අඩු නැත. මේ ඉන් කිහිපයකි.

ලැබ්‍රෝයිට වරදිද්දී කාසියේ හරි දසුන දුටු දසුන්

2023 එල්.පී.එල් තරගාවලියේදීද ඉන්දු -පකිස්තාන ‘රයිසින් ස්ටාර්ස්‘ කුසලානේ මෙන් දෙයක් සිදුවිය. එහිදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි අතර යෙදුණු තරගයේදී කාසිය උඩදමා පතිතවීමෙන් පසු කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග විසින් දිනාගත් බව තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රකාශ කිරීමට යෙදුණි. නමුත් ගෝල් කණ්ඩායමේ නායක දසුන් ශානක කාසිය උඩ දමන මොහොතේ පටන් එය බිම පතිතවී නිසල වන තෙක්ම සිය ඇස ඉන් අහසකට නොගත්තේය. ඒ අනුව කාසිය පතිත වූ පැත්ත ඔහු හොඳින්ම දර්ශනය කරගත්තේය. තරග තීරකවරයා කාසියේ වාසිය කියවාගත් ආකාරය වැරදි බව දසුන්ට නිරීක්ෂණය විය. වහාම එය පෙන්වාදෙමින් කාසියේ වාසිය හිමිවිය යුත්තේ තම කණ්ඩායමට බව ඔහු ප්‍රකාශ කළේය. තමන්ට වැරැදුණු බව පිළිගැනීමට තරග තීරකවරයාට සිදුවිය. අවසානයේ එම තරගයෙන් ලකුණු 83ක දැවැන්ත ජයක් දසුන්ගේ පිළට හිමිවිය.

සංගාගේ හඬ දෝනිට ඇසුණේ නැතිලු...

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ 2011 අප්‍රේල් 2 වැනිදා එක් පසෙක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවය. අනෙක් පසින් කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවය. ලෝක කුසලාන අවසන් මහා තරගය ඇරැඹුමටත් පෙර ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ඝෝෂාව මැද අපූරු ගැටලුවකි. ශ්‍රී ලංකා නායක සංගක්කාර කාසියේ වාසිය සඳහා 'Heads' ලෙස තම තේරීම ප්‍රකාශ කළේය. එහෙත් ක්‍රීඩාංගණයේ අධික ඝෝෂාව හේතුවෙන් ඉන්දීය නායක දෝනිට එය පැහැදිලිව ඇසුණේ නැති බව ඔහු තරග තීරක වෙත දැන්වීය. තරග තීරක ජෙෆ් ක්‍රෝ පළමු කාසියේ වාසිය සංගක්කාර ජයගත් බව ප්‍රකාශ කළත් දෝනි එම ප්‍රතිඵලය පිළිබඳ සැකයක් පළ කළේය. අවසානයේ නැවතත් කාසිය උඩට විසි කිරීමට සිදුවිය. දෙවැනි වරටත් කාසිය උඩට විසි කළ අතර එවරද ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමිවිය. සංගක්කාර පසුව මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ඝෝෂාව නිසා ඇතිවූ සන්නිවේදන ගැටලුව මෙයට හේතු වන්නට ඇති බවය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ලකුණු 274ක් ලබාගත්තේය. එහෙත් ගෞතම් ගම්භීර්ගේ සහ දෝනිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දියාව කඩුලු 6ක ජයක් ලබාගනිමින් ලෝක ශූරයන් බවට පත්විය.

කාසියේ වාසියටත් විනිසුරු සමග තරගයක්!

වර්ෂ 1998 නොවැම්බර් 26 වැනිදා ‘ඇමරිකන් ෆුට්බෝල්‘ තරගයකදී සිදුවූ සිදුවීමක් අදටත් කාසියේ වාසිය සම්බන්ධයෙන් කතා කරන විට සිහිපත් කෙරෙන්නකි.

'පිට්ස්බර්ග් ස්ටීලර්ස්' සහ 'ඩෙට්‍රොයිට් ලයන්ස්' කණ්ඩායම් අතර පැවැති තරගයේ සාමාන්‍ය කාලය අවසන් වූයේ ලකුණු 16-16ක් ලෙස සමව ය. ඒ අනුව අතිරේක කාලය ආරම්භ කිරීමට කාසියේ වාසිය උරගා බැලීමට සිදුවිය.

පිට්ස්බර්ග් කණ්ඩායමේ ක්‍රීඩක ජෙරොම් බෙටිස් තම තේරීම ලෙස 'Tails' ප්‍රකාශ කළ බව කියා සිටියේය. එහෙත් විනිසුරු පිල් ලකට්, ඔහුට ඇසුණේ 'Heads-Tails' ලෙස බවත්, එහි පළමු වචනය වූ 'Heads' පිළිගත් බවත් ප්‍රකාශ කර සිටියේය.

කාසිය 'සිරස' පැත්තට වැටීමත් සමග ඩෙට්‍රොයිට් කණ්ඩායමට අතිරේක කාලයේ පළමුව පන්දුව ලබාගැනීමේ අවස්ථාව හිමිවිය.

එහෙත් බෙටිස් එම තීරණය දැඩිව ප්‍රතික්ෂේප කළේය. නමුදු තීරණය වෙනස් නොවීය. අවසානයේ ඩෙට්‍රොයිට් කණ්ඩායම ජේසන් හැන්සන්ගේ යාර 42ක දුරක සිට එල්ල කළ ජයග්‍රාහී 'ෆීල්ඩ් ගෝල්' පහරින් ලකුණු 19-16ක ජයක් වාර්තා කළේය.

කාසියේ වාසිය අහිමි වීමෙන් පසු 'පිට්ස්බර්ග්' කණ්ඩායමට අතිරේක කාලයේ පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබීම මෙම සිදුවීමේ තවත් විශේෂත්වයකි.

මෙම ආන්දෝලනයෙන් පසු කාසියේ වාසිය ප්‍රකාශ කිරීමේදී නායකයන් තම තේරීම පැහැදිලිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳ ඇමරිකානු පාපන්දු පිටිය තුළ වැඩි අවධානයක් යොමු විය.

කාසියේ පැත්ත කියන්න නාම පුවරුවකුත් අරන් ඇවිත්

ඉහත සිදුවීමෙන් පසු ඇමරිකානු පාපන්දු පිටියේම එම මාසයේම තවත් අපූරු දසුනක් දක්නට ලැබුණි.

ඇට්ලැන්ටා ෆැල්කන්ස් කණ්ඩායමේ ජෙසී ටගල් කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටිය මැදට පැමිණියේ නිකම්ම නොවේ. ඔහු අතේ 'HEADS' යනුවෙන් සඳහන් පුවරුවක් ද තිබිණි!

එය එම තරග වාරයේ කාසියේ වාසිය පිළිබඳ ඇතිවූ ව්‍යාකූලතා ගැන විහිළුවක් ලෙස ඇට්ලැන්ටා පුහුණුකරු ඩෑන් රීව්ස්ගේ අදහසකට අනුව සිදුකළ උපක්‍රමයකි.

විනිසුරුවරයාට තම තේරීම ඇසීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බව සහතික කිරීම එහි අරමුණ විය. මෙහි අපූරුම කරුණ වන්නේ එදින ෆැල්කන්ස් කණ්ඩායම කාසියේ වාසිය ජයගත් අතර පළමු පන්දුව ලබාගෙන ලකුණු ලබාගැනීමට ද සමත් වීමයි.

ක්‍රීඩාවේ උද්වේගකර ආතතිය මැද හාස්‍යයටත් ඉඩක් තිබෙන බව පෙන්වූ මේ සිදුවීම කාසියේ වාසිය සම්බන්ධයෙන් වාර්තා වූ අපූරුම දසුන් අතරට එක්ව තිබේ.

කාසිය උඩට විසි කළාට මදි - කැරකෙන්නත් ඕනෑ!

මෙය තවත් ඇමරිකානු පාපන්දු පිටියේ සිදුවීමකි. 2016 ජනවාරි 16 වැනිදා ග්‍රීන් බේ පැකර්ස් සහ අරිසෝනා කාඩිනල්ස් අතර පැවැති තරගයේදී තවත් අපූරු සිදුවීමක් වාර්තා විය.

තරගයේ සාමාන්‍ය කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 20 බැගින් ලබාගෙන තිබිණි. අතිරේක කාලය ආරම්භ කිරීම සඳහා කාසියේ වාසිය උරගා බැලීමට විනිසුරු ක්ලේට් බලැක්මන් සූදානම් විය.

ග්‍රීන් බේ කණ්ඩායමේ නායකයන් වෙනුවෙන් ඇරන් රොජර්ස් තම තේරීම ලෙස 'Tails' ප්‍රකාශ කළේය. එහෙත් විනිසුරුවරයා කාසිය උඩට විසි කළ විට සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි.

කාසිය නිසි පරිදි කැරකීමකින් තොරව උඩට ගොස් බිමට වැටුණේ එකම පැත්ත පෙනෙන ආකාරයටය.

පැකර්ස් ක්‍රීඩකයෝ එයට විරෝධය පළ කළහ. විනිසුරුවරයා ද එම තත්ත්වය සාධාරණ නොවන බව සලකා නැවත කාසිය උඩට විසි කිරීමට තීරණය කළේය.

එහෙත් එම තරගාවලි නීති පොතේ කාසිය අනිවාර්යයෙන් කැරකිය යුතු බවට නියමයක් නොතිබූ බව පසුව ලීගය පැහැදිලි කළේය. විනිසුරුවරයාගේ තීරණය මූලික සාධාරණත්වය මත ගත් එකක් බවද ප්‍රකාශ විය.

දෙවැනි වරට කාසිය උඩට විසි කළ අවස්ථාවේ ඇරසෝනා කණ්ඩායමට වාසිය හිමිවිය. අවසානයේ ලැරී ෆිට්ස්ජෙරල්ඩ්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය හමුවේ ඇරිසෝනා කාඩිනල්ස් කණ්ඩායම ලකුණු 26-20ක ජයක් ලබාගත්තේය.

තීරණය වැරදුණත් වාසිය හරි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2016 අදියරේදී කිංග්ස් ඉලවන් පංජාබ් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගයකට පෙර සිදුවූ කාසියේ වාසිය උරගා බැලීම ද මෙලෙස ම විශාල කතාබහකට ලක්විය.

කොල්කටා නායක ගෞතම් ගම්භීර් කාසිය උඩ දැමූ අතර පංජාබ් නායක මුරලි විජේ තම තේරීම ලෙස 'Heads' ප්‍රකාශ කළ බව වීඩියෝ දර්ශනවලින් දැක්විණි.

එහෙත් තරග තීරක අමිත් ශර්මා මුලින් ප්‍රකාශ කළේ 'Tails' යනුවෙනි. එම ප්‍රකාශය අනුව කාසියේ වාසිය කොල්කටා කණ්ඩායමට හිමිවිය යුතුව තිබුණි. නමුත් ඊළඟ මොහොතේ තරග තීරකවරයා විසින් මුරලි විජේ දෙසට ඇඟිල්ල දිගු කරමින් ඔහු කාසියේ වාසිය දිනූ බවට නම් කළේය.

එම දසුන රූපවාහිනී දර්ශන ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ක්‍රිකට් ලෝලීන් අතර විවිධ ප්‍රශ්න මතු විය. මෙහි කාසියේ වාසිය නිවැරදිව තීරණය කළේද? ප්‍රකාශ කළ වචනය සහ ලබාදුන් ප්‍රතිඵලය අතර වෙනසක් ඇතිවූයේ කෙසේද? යන කතිවාතක් මෙහිදී ගොඩනැගිණි.

මෙම සිදුවීමේ සියලු පසුබිම් පිළිබඳ නිල පැහැදිලි කිරීමක් කිසිදු පාර්ශ්වයකින් නොමැති වුව ද, කාසියේ වාසිය පිළිබඳ මතභේදයක් ඇතිවූ අවස්ථාවක් ලෙස එය අයි.පී.එල්. ඉතිහාසයට එක්විය.

ක්‍රිකට් පිටියේදී කාසියේ වාසිය දිනාගැනීම ඇතැම් විට තරගයක උපායමාර්ගික තීරණ සඳහා විශාල බලපෑමක් ඇති කරයි. තණතීරුවේ ස්වභාවය, කාලගුණය, පිනි තත්ත්වය සහ ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වය අනුව පළමුව පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම තීරණය කිරීමට නායකයන්ට සිදුවෙයි.

එහෙත් කාසියේ වාසිය දිනාගැනීම යනු තරගය ජයගැනීම නොවේ. එය තරගයේ ගන්නා පළමු තීරණය පමණි.

සමහර විට එම තීරණය ගැනීමට යන තත්පර කිහිපය තුළ සිදුවන ව්‍යාකූලතා, වැරදි ප්‍රකාශ සහ හාස්‍යජනක සිදුවීම් පවා තරගයේ ප්‍රතිඵලයට වඩා වැඩි කාලයක් ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳී තිබේ. මන්ද තරගයක් ප්‍රේක්ෂක මනසට එක්වන්නේ එකදු ක්‍රීඩකයෙකුත් පිටියට පිවිසීමට පෙර බැවිනි.

 

More News..