පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න - සිවිල් සංවිධාන රජයට බල කරයි
02 August 2026 | සාලිය කුමාර ගුණසේකර
පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න - සිවිල් සංවිධාන රජයට බල කරයි
02 August 2026 | සාලිය කුමාර ගුණසේකර
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිති.
එමගින් පළාත් සභා ඡන්ද විමසීම ඉක්මනින් පැවැත්වීමට අදාළව රජයට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සම්බන්ධව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (Caffe) මෙම සාකච්ඡාව සංවිධානය කළේය.
ඒ සඳහා පැෆරල් සංවිධානය, ලංකා මැතිවරණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතන ඇතුළු සංවිධාන ගණනාවක නියෝජිතයෝ සහභාගි වූහ.
පළාත් සභා මැතිවරණය කොයි ආකාරයට පවත්වන්නේද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුණු බවත්, මැතිවරණය කුමන ක්‍රමයට පවත්වන්නේද යන්න තීරණය කිරීම එම කමිටුව මගින් කළ යුතු දෙයක් වුවද කාරක සභාවේ කාලය මේ වනවිට අවසන් වී ඇති නිසා නැවත කාලය ලබාගෙන තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
පැෆරල් සංවිධානයේ මැදිහත් වීමෙන් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් සියලු දේශපාලන පක්ෂ ලේකම්වරු මීට සති කිහිපයකට පෙරදී කැඳවා කරන ලද සාකච්ඡාවකදී පැරණි ක්‍රමයට තාවකාලිකව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව එකඟතාවකට පැමිණි බවද ඔහු කීවේය. මැතිවරණය පැවැත්වීම කල් දැමීම තාක්ෂණික ගැටලුවක් ලෙස පෙන්නුම් කළද මෙය දේශපාලනික ගැටලුවක් බවද ඔහු පැවසුවේය.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ යම් මහජන නියෝජිත ආයතනයක් ජනතාවගේ නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන යාම අපරාධයක් බවයි. නිලධාරීන්ගේ පාලනය මහජන නියෝජිතයන්ගේ පාලනයක් නොවන බවත්, නිලධාරීන් කිසි විටෙක මහජනතාවට වග නොකියන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (Caffe) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පැවසුවේ පළාත් සභා මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුව පමණක් නොව, විපක්ෂයේ මන්ත්‍රිවරුද ඒ සඳහා හඬක් නැගිය යුතු බවය. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර තිබුණද මේ වනවිට මාස 20ක කාලයක් ගතවී තිබෙන බවද ඔහු පැවසුවේය.
පළාත් සභා මැතිවරණය කල් දැමීමට අදාළව 2017 වසරේ සිට මේ දක්වා රට පාලනය කළ ජනාධිපතිවරු, ආණ්ඩු වගකිව යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

