brand logo
logo
කාවන්තිස්ස ඇත් රජු හා වන ජීවීන්ගේ ඛේදවාචකය

කාවන්තිස්ස ඇත් රජු හා වන ජීවීන්ගේ ඛේදවාචකය

30 September 2026


පසුගියදා ගල්ගමුවේදී දඩයක්කාරයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කාවන්තිස්ස අපේ රටේ සිටින තවත් එක වන අලියෙක් නොවේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම, උසින් වැඩිම හා දිගුම දළ යුවළක් සහිත ඇතාය. කාවන්තිස්ස යනු සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ එන ඇත් රජු යන යෙදුමට සර්ව ප්‍රකාරයෙන්ම ගැළපෙන හස්ති රාජයෙකි.


වෙඩි පහරින් ඉදිරිපස දකුණු කකුල බරපතළ ලෙස තුවාල ලබා සිටින කාවන්තිස්සට වෙඩි වැදුණු පළමුවැනි වතාව මෙය නොවේ. ඒ අවස්ථාවේදීද අනේ, අපොයි කියා දුක් වීමද තුවාල සුවකිරීමට කටයුතු කිරීමද හැරෙන්නට අපට ඔහු වෙනුවෙන් කළ හැකි වූ අන් දෙයක් නැත. මේ වතාවේද ඔහුගේ තුවාල සනීප කරගැනීම සඳහා නැතක් උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ.


මෙහිදී අපේ සිතට නිතැතින්ම පැනනැගුණු ප්‍රශ්නය වූයේ ජාතික සම්පතක් වන මෙබඳු සත්ත්වයෙක් ඉදිරියේදීවත් ආරක්ෂා කරගැනීම සඳහා රටක් හැටියට අපට වැඩපිළිවෙළක් යොදන්නට නොහැකි ඇයිද යන්නය. තුවාල සුවකරන්නට හැකි වුවද අවශ්‍ය වන්නේ කිසිවකුටත් මේ වටිනා වන සතුන්ට තුවාල කරන්නට නොහැකි අන්දමට ආරක්ෂාව ලබාදීමට කටයුතු කිරීමය. ඒ සඳහා වන සතුන් මරා දමන, වෙඩි තබන හා තුවාල කරන සියලුදෙනාට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වන අන්දමට කටයුතු සම්පාදනය කළ යුතුය.


වන සතුන් සම්පතක් හැටියට සලකන රටවල් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බොහෝ උපායමාර්ග යොදාගෙන තිබේ. අලිඇතුන් විෂයයෙහි කෙන්යාවද, රයිනෝවරුන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවද යොදාගෙන ඇති වැඩපිළිවෙළ මෙහිදී අපට ආදර්ශයක් හැටියට ගැනීමට හැකිය. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස නවය තුළදී පමණක් අලිඇතුන් දෙසීයයක් මරණයට පත්වූ ශ්‍රී ලංකාවට ඔවුන් යන මග යෑම තවදුරටත් ප්‍රමාද කළ නොහැකිය.


⁣මේ රටවල් ඒ සඳහා වනජීවී නිලධාරීන් සමග විශේෂඥ කණ්ඩායම්වල සහයෝගය ලබා ගනී. අපටද වෘත්තිකයන්, විද්‍යාඥයන්, පශු වෛද්‍යවරුන්, සංරක්ෂකයන්, තාක්ෂණ විශේෂඥයන් මෙන්ම විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ද සම්බන්ධ කරගෙන වනජීවී නිලධාරීන්ට සහයෝගය ලබාදෙන අතුරු කණ්ඩායම් ඇති කිරීමට පුළුවන. කෙසේවුවද ඒ සඳහා වැඩපිළිවෙළක් ඇතිකිරීමට මූලිකත්වය ගත යුතුව ඇත්තේ ආණ්ඩුවයි.


මෙහිදී විශේෂඥ කණ්ඩායම්වල ආධාරය හා උපදේශනය ලබාගතයුතු වන්නේ ඔවුන්ගේ නවීන දැනීම මේ සඳහා යොදාගත හැකි බැවිනි. ජීපීඑස් තාක්ෂණය, රේඩියෝ නිරීක්ෂණය, ගුවනින් කරන පරීක්ෂාවන්, කැමරා සෝදිසි, ඩ්‍රෝන යොදාගැනීම, රාත්‍රි මුර සංචාර ආදී නොයෙකුත් ක්‍රමෝපායන් මේ සඳහා යොදාගත හැකි බව විදේශ අත්දැකීම්වලින් පෙනීගොස් තිබේ. එහෙයින් රජයේ නිලධාරීන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් කටයුතු නොකරන්නේ නම් මේ ප්‍රශ්නය විසඳාගත නොහැකිය.


තවත් වැදගත් කාරණයක් වන්නේ වනසතුන් පිළිබඳ අංගසම්පූර්ණ දත්ත ගබඩාවක් ඇති කිරීමය. දැනටමත් ඒ සඳහා ඇති තොරතුරු ගබඩා ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විෂයය පිළිබඳ ඇල්මක් දක්වන වෘත්තීය නිපුණත්වය ඇති ස්වේච්ඡා සේවකයන්ගේ සහායයෙන් ඒ කටයුත්ත ඉෂ්ට කරගැනීම වුවමනාවක් තිබේ නම් අසීරු කටයුත්තක් නොවේ.


ඒ අතර කාවන්තිස්ස වැනි දුර්ලභ ගණයේ වන සතුන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇතිකිරීමද අවශ්‍යය. කෞතුකාගාරවල තැන්පත් කර සුරකින අජීවී ඓතිහාසික භාණ්ඩවලට නොදෙවැනි ආරක්ෂාවක් මේ ජීවමාන වන සම්පත්වලට ලබා දිය යුතුය. වටිනා වන ජීවියකුට දඩයක්කරුවන්ගෙන් ගැලවී වනාන්තරයේ ජීවත්වීමට නොලැබීමෙන් පෙනීයන්නේ අනෙකක් නොව ඔවුන්ට ඇති ආරක්ෂාවේ තරමයි.


වනජීවී දෙපාර්තමේන්තුව අපේ රටේ බොහෝ රාජ්‍ය ආයතන මෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආරම්භ කරන ලදුව රජයේ ආයතනවලට උරුම බොහෝ ලෙඩරෝගවලින් පීඩා විඳින රෝගී ආයතනයකි. වන සතුන් පිළිබඳ සෑම සියලු ප්‍රශ්නයකදීම අප වනජීවී දෙපාර්තමේන්තුව දෙසට හැරෙතත් ඒ ආයතනයට ඔවුන්ගෙන් බලාපොරොත්තු වන සේවය සැලසිය හැකි අන්දමේ පිරිස් බලයක්වත්, යටිතල පහසුකම්වත් නැත. එහෙයින් වනජීවී දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ පරණ කන්තෝරුවක මට්ටමින් මුදාගෙන නවීන ආයතනයක් බවට පත් කරන්නේ නැතිව මේ ප්‍රශ්න විසඳීමට පුළුවන්කමක් නොමැත.


අනෙක් කාරණය වන්නේ ඒ ආයතනයට ආණ්ඩුවේ අයවැයෙන් වෙන් කරන සොච්චම එහි ලොකු වෙනසක් කිරීමට සෑහේද යන්නයි. කාවන්තිස්ස වැනි වන සම්පත් රැකගැනීමට නම් ඉදිරිගාමී වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර ඒ ක්‍රියාවට නැංවීම සඳහා සැලකිය යුතු බරපැනක්ද අවශ්‍යය. ආණ්ඩුව තැන තැන කියන විදිහට භාණ්ඩාගාරය පිරීඉතිරී ගොස් ඇති හෙයින් ඔවුන්ට නොපමාව එසේ කළ හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

More News..