අලි මිනිස් ගැටුම ඇතුළු වනජීවී ගැටලු සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිට එල්ලවන චෝදනා සාධාරණයි
21 October 2026 | සංවාදය - සෙව්මිණී වාසල
අලි මිනිස් ගැටුම ඇතුළු වනජීවී ගැටලු සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිට එල්ලවන චෝදනා සාධාරණයි
21 October 2026 | සංවාදය - සෙව්මිණී වාසල
කාවන්තිස්ස හස්තියාගේ මරණයත් සමග අලි ඇතුන් අකාලයේ මියැදීම සම්බන්ධයෙන් වන කතාබහ නැවැතත් කරළියට පැමිණ තිබේ. ලංකාවේ වනජීවී සංරක්ෂණය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බව සත්ත්වවේදීහු මෙන්ම විවිධ පාර්ශ්ව පෙන්වා දෙති. අලි මිනිස් ගැටුමට විද්යාත්මක විසඳුම්දීමට පාලන තන්ත්රය අපොහොසත් වී ඇති බවට ජනතාව චෝදනා කරති. මේ අතර සත්ව පර්යේෂකයන් විසින් කාලාන්තරයක් තිස්සේ කළ පර්යේෂණවල ප්රතිඵල සහ නිර්දේශ පිළිබඳ වගකිව යුත්තන් එතරම් තැකීමක් නොකරන බවද කියැවෙයි. මෙම කාරණා පිළිබඳව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සත්ත්ව විද්යා අංශයේ පර්යේෂණ සහකාර, වනජීවී පර්යේෂක හිමාෂ් අධිකාරි සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමග අලි ඇතුන් සම්බන්ධයෙන් වන කතාබහ නැවැත කරළියට ඇවිත් තියෙනවා. සත්ත්වවේදීන්, දේශපාලනඥයන් ආදී පිරිස් ඒ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරනවා. වනජීවී පර්යේෂකයෙක් විදිහට කාවන්තිස්ස ඇතාගේ මරණය ඔබ දකින්නේ කොහොමද?
වනජීවී පර්යේෂකයකු ලෙස කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය මම දකින්නේ සමස්ත ලංකාවටම වූ ආපසු හැරවිය නොහැකි දෙයක් ලෙසයි. දැවැන්ත ජානමය, පරිසර විද්යාත්මක සහ සමාජයීය පාඩුවක් විදිහටයි. කාවන්තිස්ස කියන්නේ මෑත ඉතිහාසයේ අපේ රටේ ජීවත් වූ සද්දන්තම සහ දුර්ලභම දළ ඇතෙක්. ඔහු මියයන විට පසු වූයේ අවුරුදු 40ක පමණ උපරිම ප්රජනන වයසේයි. තමන් සතු සුවිශේෂී ශක්තිමත් ජාන ඉදිරි පරම්පරාවලට දායාද කිරීමට තිබූ අවස්ථාව අහිමිවීම සමස්ත අලි ගහනයේ අනාගත ගුණාත්මකභාවයට ඍජුවම බලපානවා. ඒ වගේම ඒ සත්ත්වයාගේ මනුෂ්යත්වයට හිතකාමී හැසිරීම් නිසා ජනතාව තුළ අලි ඇතුන් කෙරෙහි තිබූ කෝපය අඩු වුණා. වනජීවී සන්නාමයක් බඳු මෙවැනි සුවිශේෂී සත්ත්වයකුගේ ජීවිතය අකාලයේ කෙටිවීම සැබැවින්ම දරාගත නොහැකි ඛේදවාචකයක් කියන එකයි මගේ අදහස.
කාවන්තිස්ස හස්තියාගේ සිදුවීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියාකලාපය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඇත්තටම අපිට ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද මෑත කාලයේ කාගේත් අවධානයට ලක්වුණු දැදුරුඔය කලාපයේ ජීවත් වූ ලංකාවේ සිටි විශාලම සුවිශේෂී දළ ඇතා තමයි කාවන්තිස්ස කියන්නේ. ඒ සත්ත්වයා ගැන මීට වඩා සමීප අවධානයක් යොමු විය යුතුව තිබුණා. ඒත් පරිසර අමාත්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් ඒ අවශ්ය අවධානය සහ ප්රතිකාර කිරීම බෙහෙවින් ප්රමාද වුණා කියලා මට හිතෙනවා.
කාවන්තිස්ස හස්තියාට අසාධ්ය බව සමාජ මාධ්ය තුළ ප්රචාරය වෙන්න පටන් ගන්නා තුරුම වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නෑ කියලත් චෝදනාවක් තියෙනවනේ?
ඔව්. සමාජ මාධ්ය හරහා මේ සතාගේ තුවාලය ගැන ප්රචාරය වෙලා දවස් කිහිපයකට පසුවයි අමාත්යාංශය ක්රියාත්මක වුණේ කියන චෝදනාව ඇත්තක්. මෙතැනදී බලධාරීන් ක්ෂණිකව ක්රියාත්මක නොවුණු බවට සමාජය තුළත් දැඩි මතයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම මේ ඇතා එක් වරක් සුවය ලබා නැවැත රැළට එකතු වූ පසු දවස් ගණනාවක් යනතුරුම ඒ ගැන වගකිවයුත්තන් කිසිම සොයා බැලීමක් හෝ අවධානයක් යොමු කළේ නැහැ. ඒ බව ප්රදේශයේ ජනතාවගේ වගේම සමාජයීය කතිකාවන් තුළිනුත් හොඳින් පැහැදිලි වෙනවා.
වන ජීවීන් සංරක්ෂණය කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරනවා කියලා පරිසර අමාත්යාංශය මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා. ඒත් තවමත් මිනිස් ක්රියාකාරකම් නිසා අලි ඇතුන් අකාලයේ මියැදීම නතර නොවෙන්නේ ඇයි?
ඇත්තටම ඔවුන් ඉතා විශාල කාර්යභාරයක් කරනවා නම් ඊට සාපේක්ෂව අලි මරණවල අඩුවක් විය යුතුයි. නමුත් දැනට දවසකට එක අලියෙක් බැගින් මැරෙන ප්රවණතාවක් තියෙනවා. ඒ අනුව කුමක් හෝ බරපතළ ප්රශ්නයක් තියෙන බව පැහැදිලියි. ඒ කියන්නේ පරිසර අමාත්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන ක්රියාවලිය හරියට වෙන්නේ නැහැ වගේම ඔවුන් මේ ප්රශ්නයට අවධානය යොමු කරන්නේ නැහැ කියන එකයි. මෙවැනි ප්රශ්නවලදී පරිසර අමාත්යාංශය මීට වඩා ක්රියාශීලීව මැදිහත් විය යුතුයි කියලා සමාජයේ ලොකු මතයක් තියෙනවා. සත්වවේදීන් සහ පරිසරවේදීන් මේ ප්රශ්න උලුප්පා දක්වන තුරුම අමාත්යාංශයෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ ක්රියාකලාපය ගැන ලොකු ගැටලුවක් තියෙනවා කියන එකයි.
වනජීවී සංරක්ෂණ ක්ෂේත්රය තුළ වසර ගණනාවක් තිස්සේ මෙවැනි අඩුපාඩු පැවැතීමට හේතු මොනවාද?
දෙපාර්තමේන්තුවේ පවතින මන්දගාමී ස්වභාවයට එහි සිටින නිලධාරීන්ගේ අභ්යන්තර පරිපාලනමය ගැටලු හේතු වී ඇති බව කියන්න පුළුවන්. නිලධාරීන් අතර පවතින දැඩි නිලධාරීවාදය සහ අභ්යන්තර මතභේද හේතුවෙන් වැදගත් තීන්දු තීරණ ගැනීම සහ ක්රියාත්මක කිරීම දිගින් දිගටම ප්රමාදවන බව ක්ෂේත්රයේ සමහර පිරිස් පෙන්වා දෙනවා. අනෙක මෙපමණ කාලයක් තිස්සේ මේ විෂය පථය වෙනුවෙන් දේශපාලන අධිකාරියෙන් නිසි සහයෝගයක් හෝ මගපෙන්වීමක් නොලැබීමත් ලොකු ගැටලුවක්. මෙම සංවේදී ක්ෂේත්රය පිළිබඳව කිසිම අවබෝධයක් හෝ විද්යාත්මක පසුබිමක් නොමැති පුද්ගලයන් වනජීවී විෂයය භාර අමාත්යවරුන් ලෙස පත්කර තිබෙන බව පසුගිය රජයන් දෙස බැලීමේදී අපිට අවබෝධ වෙනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පරිසර අමාත්යවරයාට වනජීවීන් සම්බන්ධයෙන් නිසි අවබෝධයක් තියෙනවා කියලා ඔබ හිතනවද?
වත්මන් දේශපාලන අධිකාරිය දෙස බැලීමේදීත් අමාත්යවරයාට මේ විෂය සම්බන්ධයෙන් පූර්ව විශේෂඥ දැනුමක් නොමැති බවක් පේනවා. ඒත් ඔහුගේ ක්රියාකලාපය තුළ යම් ධනාත්මක භාවිතයක් සහ වැඩකිරීමේ වුවමනාවක් පෙනෙන්නට තිබෙන බවත් සඳහන් කළ යුතුයි. දෙපාර්තමේන්තුව අභ්යන්තරයේ විවිධ ගැටලු පැවැතුණත් යම් මට්ටමක වැඩපිළිවෙළක් ඉදිරියට රැගෙන යන බවකුත් පේන්න තියෙනවා. ඒත් වත්මන් පාලනයට යම් කාලයක් ගත වී තිබියදී මීට වඩා වේගවත් සහ ප්රායෝගික වැඩකොටසක් ඉටු කිරීමට අවස්ථාව තිබූ බවයි මගේ හැඟීම. ඒ නිසා අලි මිනිස් ගැටුම ඇතුළු වනජීවී ගැටලුවලට කඩිනම් සහ ස්ථිර විසඳුම්දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්යවරයාට සහ සමස්ත පද්ධතියටම සමාජයෙන් එල්ලවන චෝදනා සාධාරණයි.
වත්මන් පරිසර අමාත්යවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියලා ඇතැමුන් කියනවනේ?
වත්මන් අමාත්යවරයාට මේ විෂය සම්බන්ධයෙන් පූර්ව විශේෂඥ දැනුමක් තියෙනවද කියලා මා දන්නෙ නැහැ. ඔහුගේ ක්රියාකලාපය තුළ යම් ධනාත්මක භාවිතයක් සහ වැඩකිරීමේ වුවමනාවක් පෙනෙන්නට තිබෙන බව කියන්න පුළුවන්. ඒත් ක්ෂණිකව සහ නිවැරැදි වෙලාවට තීන්දු තීරණ ගැනීමේ ලොකු ප්රමාදයක් තියෙනවා. එවැනි ප්රතිපත්තිමය තීරණ ගැනීම ප්රමාදවීම කනගාටුදායකයි. වත්මන් පාලනයට වසර දෙකක් ගත වී තිබියදී මීට වඩා වේගවත් වැඩ කොටසක් කරන්න තිබුණා. අපිට කාවන්තිස්ස ඇතා අහිමි වුණේ ඒ ප්රමාදයේ ප්රතිඵලයක් විදිහටයි. ඉන්පසුව අග්බෝ ඇතාගේ සිද්ධියේදී ඔවුන් ඉක්මනින් ක්රියාත්මක වුණා. ඒ සමාජයෙන් ආ පීඩනය නිසයි. ඒත් ඒ කාර්යක්ෂම බව කාවන්තිස්සගේ සිදුවීමේ දී අපි දැක්කේ නෑ.
අලි ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා අදාළ බලධාරීන්ව දැනුම්වත් කිරීමට සත්ව පර්යේෂකයන් කටයුතු කරන්නේ නැද්ද කියලා ඇතැම් පාර්ශ්ව අහනවා. වනජීවී පර්යේෂකයෙක් හැටියට ඒ ප්රශ්නයට ඔබේ පිළිතුර මොකක්ද?
මේ වගේ සිද්ධියක් වුණාම වෙනත් බාහිර පර්යේෂකයන්ට ඒ ගැන ඍජුවම කටයුතු කරන්න අමාරුයි. මුලින්ම වනජීවී පශු වෛද්ය නිලධාරීන් මේ ගැන දෙපාර්තමේන්තුවට සහ අමාත්යාංශයට කරුණු දැක්විය යුතුයි. සතාට තුවාලයක් තිබුණු වෙලාවේ එහි සාම්පලයක් අරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම පශු වෛද්යවරුන්ගේ වගකීමක්. ඒ වුණත් පළමු අවස්ථාවේදී එහෙම දෙයක් වුණේ නැහැ. සතා තුවාල වෙලා ඉන්න නිසා මුලින්ම සිහි නැති කරන්නේ නැතිව ප්රතිජීවක ඖෂධදීම පමණයි කරලා තියෙන්නේ. සතාව සිහි නැති කරලා ඉතිරි කරුණු වාර්තා කරගෙන තියෙන්නේ ඉන් දවස් දෙකකට පසුවයි. ඒ නිසා මුලින්ම මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ යුතුව තියෙන්නේ බාහිර පර්යේෂකයන්ටත් වඩා වනජීවී පශු වෛද්ය නිලධාරීන් කියන එකයි මගේ අදහස. කොහොම වුණත් ඒ සඳහා ඔවුන්ට අවශ්ය ප්රතිපාදන සහ පහසුකම්වල ලොකු අඩුවක් තියෙනවා.
වනජීවී පශු වෛද්ය ඒකකයට අවශ්ය පහසුකම් නොමැතිකම මෙන්ම පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් නිසි සහයෝගයක් නොලැබීමත් ගැටලුවක් බව කියැවෙනවා. ඒ කතාව ඇත්තද?
වනජීවී පශු වෛද්ය ඒකකයට මෙවැනි පර්යේෂණ ඉදිරියට කරගෙන යාමට අවශ්ය වටපිටාව වනජීවී දෙපාර්තමේන්තුව නිසි පරිදි සලසලා නැහැ. බොහෝ විට සතකු මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයකින් මරණයට හේතුව ප්රකාශ කරනවා. නමුත් එවැනි මරණයක් නැවැතවීම වැළැක්වීම සඳහා දිගින් දිගටම විද්යාත්මකව සොයා බැලීමේ ක්රමවේදයක් අපට නැහැ. මීට ප්රධාන හේතුව සම්පත් සහ ප්රතිපාදන මදිකමයි. අපේ රටේ මේ පිළිබඳව ඉහළම දැනුමක් ඇති මහාචාර්යවරු, ආචාර්යවරු සහ දක්ෂ වෛද්යවරු ඉන්නවා. නමුත් ඔවුන්ගේ දැනුමෙන් ප්රයෝජන ගැනීමට අවශ්ය පහසුකම් නැහැ. රටේ පවතින ආර්ථික තත්ත්වයත් මීට බලපානවා. කෙසේ වෙතත් කාවන්තිස්ස වැනි සතුන්ගේ මරණත් සමග හෝ මේ පර්යේෂණ පහසුකම් සහ උපකරණ කඩිනමින් සැපයීමට බලධාරීන් පියවර ගත යුතුමයි.
වනජීවී ක්ෂේත්රයේ කෙරෙන විද්යාත්මක පර්යේෂණ සහ නිර්දේශ පිළිගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්යාංශය කැමැති නැහැ කියන චෝදනාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඒ කතාවේ යම් ඇත්තක් තියෙනවා. ලංකාවේ අලි-මිනිස් ගැටුම අද ඊයේ ඇතිවූවක් නොවෙයි. ආචාර්ය පෘථිවිරාජ් ප්රනාන්දු සහ ආචාර්ය සුමිත් පිළිපිටිය වැනි ප්රවීණ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටු මගින් මීට වසර කිහිපයකට පෙර අලි මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්රියාකාරී සැලැස්මක් හඳුන්වා දුන්නා. හුදෙක් අලි වැට ඉදිකිරීමෙන් පමණක් මෙම ගැටලුව විසඳිය නොහැකි බව එහිදී ඔවුන් පැහැදිලිවම කිව්වා. ඒ වෙනුවට අලිමංකඩ නිදහස් කිරීම වැනි විද්යාත්මක විසඳුම් වැදගත් බවත් එහි සඳහන් වුණා. මේ විද්යාත්මක ජාතික ක්රියාකාරී සැලැස්ම හඳුන්වා දී වසර ගණනාවක් ගත වුණා වගේම ආණ්ඩු සහ විෂයයභාර අමාත්යවරු කිහිපදෙනෙක්ම මාරු වුණා. ඒත් ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම සහ නිසි පරිදි ක්රියාත්මක කිරීමට බලධාරීන්ට වුවමනාවක් තිබෙන බවක් පේන්නේ නැහැ. මෙවැනි විද්යාත්මක විසඳුම් ක්රියාත්මක කිරීමෙන් ඇත්තටම වාසි සැලසෙන්නේ අමාත්යාංශයට සහ රටටයි. එහෙම තිබියදීත් පාලකයන් සහ නිලධාරීන් නිසි ක්රමවේදයක් සහිත වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා වැඩි කාලයක් ගැනීමත් එම වැඩසටහන් ප්රමාද කිරීමත් කනගාටුදායකයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන නවීන විද්යාත්මක සොයාගැනීම් සමග යාවත්කාලීනවීමට මැළිකමක් දක්වනවා කියන්නේ ඇත්තද?
ඇත්තටම වනජීවී සංරක්ෂණ වැනි දෙපාර්තමේන්තු කියන්නේ හුදු පරිපාලන ආයතන හෝ අවසර පත්ර නිකුත් කිරීමට ඉදි වූ ආයතන පමණක්ම නොවෙයි. මේවා ඍජුවම විද්යාව සමග ගනුදෙනු කරන, විද්යාත්මක පදනමක් සහිත රාජ්ය ආයතන හැටියටයි සලකන්නේ. මෙවැනි ආයතනවල තීන්දු තීරණ අනිවාර්යයෙන්ම විද්යාත්මකව සනාථ කළහැකි පර්යේෂණ දත්ත මත පදනම් විය යුතුයි. හිතුමනාපයට ගන්නා තීරණ මත මෙවැනි ආයතන පවත්වාගෙන යා යුතු නැහැ.
ලංකාව තුළ වාර්ෂිකව සාගර පද්ධතිය, ගොඩබිම වෙසෙන ක්ෂීරපායී සතුන්, උභයජීවීන්, උරගයන් මෙන්ම ක්ෂුද්ර ජීවීන් පිළිබඳවත් විශාල පර්යේෂණ ප්රමාණයක් වෙනවා. උදාහරණයක් විදිහට ශ්රී ලංකාවේ වෙසෙන උරගයන් සහ උභයජීවීන්ගෙන් සියයට 70කට වඩා අපේ රටට ආවේණික සතුන්. ඉන් බහුතරයක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මෙම සතුන් බහුලවම ගැවසෙන සංවේදී කලාප මොනවාද සහ අනාගතයේදී ඔවුන් වඳවී යාමේ අවදානම කෙබඳුද යන්න අපේ පර්යේෂකයන් මීට වසර ගණනාවකට පෙර පර්යේෂණ පත්රිකා මගින් පෙන්වා දීලා තියෙනවා.
පර්යේෂකයන් මේ අනතුරු ඇඟවීම් කරලා වසර ගණනාවක් ගත වුණා. ඒ වෙනුවෙන් අදාළ දෙපාර්තමේන්තු ගෙන ඇති ක්රියාමාර්ග මොනවාදැයි ප්රශ්න කළොත් ඔවුන් සතුව ඊට පැහැදිලි පිළිතුරක් නැහැ. නවීන විද්යාත්මක සොයාගැනීම් සමග යාවත්කාලීනවීමේ ලොකු අඩුවක් මේ ආයතන තුළ තිබෙන බව පැහැදිලියි.
ඔබට හිතෙන විදිහට බලධාරීන් ඒ විද්යාත්මක සැලසුම් ක්රියාත්මක කිරීම ප්රමාදකරන්නේ හෝ මගහරින්නේ ඇයි?
ඒ සඳහා ප්රධාන හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. අදාළ අමාත්යාංශ සහ ආයතනවල සිටින ඉහළ බලධාරීන්ගේ මන්දගාමී පරිපාලන ස්වභාවය එක හේතුවක්. ඒ වගේම මෙවැනි ජාතික සැලසුම් ක්රියාත්මක කිරීම සඳහා ඔවුන්ට ලැබෙන මූල්ය ප්රතිපාදන සහ කාලය ප්රමාණවත් නොවීමත් ගැටලුවක් හැටියට මම දකිනවා.

