බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට වැඩසටහනක්
02 November 2026
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට වැඩසටහනක්
02 November 2026
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව දෙදින ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේදී පවත්වා තිබේ.
බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික සංවිධාන නියෝජනය කරමින් 140කට ආසන්න පිරිසක් ඊට සහභාගී වී ඇත.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා ආර්ථිකය 2024 සහ 2025 යන වසර දෙකේදීම සියයට 5ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි.
ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නියාමන ක්‍රියාවලීන් සරල කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසීය.
මේ අතර, 2025 වසරේදී මෙරට කාර්මික අංශය සියයට 7.8ක වර්ධනයක් අත්කරගෙන ඇති බව අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පෙන්වා දුන්නාය.
එම වසරේ සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 72ක වර්ධනයක් බව ද ඇය සඳහන් කළාය.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා දෙරට අතර පවතින දිගුකාලීන වෙළෙඳ සබඳතා අවධාරණය කළේය. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ Developing Countries Trading Scheme (DCTS) වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික අපනයන සඳහා හිමිවන සහනදායී වෙළෙඳපොළ ප්රවේශයේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ තිරසාර නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව ප්රමිතීන් සහ අපනයන තරගකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ආරාධනා කළේය.
මෙහිදී පැවති වෙළෙඳ හා ආයෝජන සාකච්ඡාවලදී නව ව්‍යාපාරික හවුල්කාරිත්ව සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
2027 ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය, මෙරට අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා ආයෝජකයන් සමඟ සෘජුව සම්බන්ධ වී නව වෙළෙඳ අවස්ථා සොයා ගැනීමට වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

