ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
05 August 2026
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට, මෑතකදී පාර්ලිමේන්තුවට ගෙන එන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබාගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය අද (5) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා තමන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරමින් ඉල්ලා, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළේය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අධිකරණය පෙන්වා දුන්නේ මෑතකදී දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධනයට අනුව ස්වාධීන සේවා සපයන්නන් වෙනමම වර්ගීකරණය කර තිබෙන බවත්, එම වර්ගීකරණය කළ පිරිසට පුද්ගලික අත්තිකාරම් බද්ද අදාළ නොවන බවට දක්වා තිබෙන බවත්ය.
එම තත්වය යටතේ මෙම පෙත්සම්කරුවන්ගේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් තිබේදැයි මෙහිදී විනිසුරු මඩුල්ල දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාගෙන් විමසීය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, අදාළ සංශෝධනය මෙම ගැටලුව නිරාකරණය කිරීමට උපයෝගී කරගත නොහැකි බවය.
ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී කටයුතු කරන පුද්ගලයින් බවත්, ඔවුන්ට මෙම ප්‍රතිපාදනය අදාළ නොවන බවත් වැඩිදුරටත් පැවසීය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, දේශීය ආදායම් පනතට මෑතකදී සිදුකළ සංශෝධනය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද අදාළ වන බවය.
තම සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බවත්, ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් ගණයට ඇතුළත් වන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම බදු අර්බුදය හේතුවෙන් ක්‍රීඩකයින්ට ලැබිය යුතු ගෙවීම් අත්හිටුවා තිබෙන බවත්, මේ නිසා ඔවුන් අපහසුතාවයන්ට මුහුණ දී තිබෙන බවත් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා කරුණු දැක්වීය.
ඒ අනුව මෙම කරුණට අදාළ ලිඛිත සැලකිරීම් තිබේ නම්, ඒවා සතියක කාලයක් තුළ ගොනු කරන ලෙස පාර්ශව කරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල, මෙම නඩුකරවලට අදාළ තීන්දුව අගෝස්තු මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

