brand logo
logo
ජනාධිපතිවරයා ලූලා ද සිල්වාට යැවූ සුබ පැතුම් පණිවුඩය

ජනාධිපතිවරයා ලූලා ද සිල්වාට යැවූ සුබ පැතුම් පණිවුඩය

03 November 2026


දේශපාලනයේදී බොහෝවිට තමන්ට කියන්නට ඕනෑ දේ අමුවෙන්ම කීම දකින්නට ලැ⁣බෙන්නකි. එහෙත් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී භාවිතා කරන භාෂාව ඊට සපුරා වෙනස්ය. එහිදී "නරකාදියට පලයන්" යැයි කියන්නේද අසන්නාට නරකාදියට යන්නට වුවත් ආශා හිතෙන අන්දමට යැයි කතාවක් තිබේ.


මේ පූර්විකාව ලිව්වේ ඉකුත් සතියේ බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දිනා හතරවැනි වරටත් එරටේ නායකත්වයට පත්වූ ලූලා ද සිල්වාට අපේ ජනාධිපතිවරයා යැවූ සුබ පැතුම් පණිවුඩය ගැන ලියන්නටය. එක රටක නායකයෙක් තවත් රටක ඡන්දයක් දිනා බලයට පත්වූ නායකයකුට සුබ පැතීම අමුතු දෙයක් නොවේ. එය සිරිතක් හැටියට කෙරෙන කටයුත්තකි.


එහෙත් ඒ සුබ පැතුම බ්‍රසීලයේ ලූලා ද සිල්වාට ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායක යවන පෞද්ගලික සුබ පැතුමක් නොවේ. බ්‍රසීලයේ නව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යවන නිල සුබ පැතුමකි. එහෙත් ජනාධිපති කාර්යාලයේ හෝ විදේශ අමාත්‍යාංශයේ හෝ නොදැනුම නැත්නම් නොසැලකිල්ල නිසා එය රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුමකට වඩා පෞද්ගලික සුබ පැතුමක මට්ටමට වැටී ඇති බව අපේ කල්පනාවයි.


මෙහිදී වෙන්නට ඇත්තේ දෙරටේම නායකයන් වාමාංශිකයන් හැටියට සලකනු ලැබීම නිසා යැයි විටෙක අපට සිතෙයි. එක් වාමාංශික නායකයෙක් තවත් වාමාංශික නායකයකුගේ ජයග්‍රහණයෙන් උදම්ව ලියන පණිවුඩයක ස්වරූපය එයට ලැබෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. එහිදී රාජ්‍යතාන්ත්‍රික භාෂාව වෙනුවට වාමාංශිකයන්ගේ සුපුරුදු වාංමාලාව ඊට අඩංගු වී ති⁣බීමට හේතු කාරණා වන්නට ඇත්තේද එයමය.


බ්‍රසීල ජනාධිපතිවරයා එ⁣රටේ දේශපාලන පවුල්වලටද, නීතියට වඩා බලය ඉහළ යැයි සිතන්නන්ටද තවදුරටත් ජනතාව මුළා කළ නොහැකි බව පෙන්වා දෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්ය. මෙහි කියවෙන දේශපාලන පවුල අනෙකක් නොව ලූලා ද සිල්වා සමග ජනාධිපතිවරණයට තරග කළ ෆ්ලේවියෝ බොන්සොනාරෝගේ පවුලය. ඒ බොන්සොනාරෝගේ පියාද එරට හිටපු ජනාධිපතිවරයකු වන බැවිනි.


නීතියට වඩා බලය ඉහළ යැයි සිතන්නන් යැයි කියන්නේද විපක්ෂයටය. ඒ බොන්සොනාරෝගේ ජයග්‍රහණයට ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේම උදව් කළ හෙයිනි. මැතිවරණය වංචාකාරී යැයි චෝදනා කළ බොන්සොනාරෝ පරාජයෙන් පසු පවුලේ උදවිය සමග රටින් පිටවූ අතර දැන් ඔහු සිටින්නේද ඇමරිකා එක්සත් ජනපදයේය.


බ්‍රසීල ජනාධිපතිවරණ ඉතිහාසයේ මුල්වතාවට බොන්සොනාරෝ එහි පළමුවැනි වටයෙන් ජයග්‍රහණය කර ඊළඟ වටයේදී පරාජයට පත්වූ අපේක්ෂකයාය. තවද ඔහු කියා සිටියේද ඡන්දය දූෂිත බවය. එබඳු තත්ත්වයක් තිබියදී අපේ ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්නුම් කරන පක්ෂග්‍රාහී ස්වරූපය රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයකට වෙනස්ය.


තවද අපේ ජනාධිපතිවරයාගේ පණිවුඩයෙන් එකපැහැරම විපක්ෂ අපේක්ෂකයා විවේචනය කෙරෙයි. ඔහුට ප්‍රහාර එල්ල කෙරෙයි. දෙරටක් අතර කරන සුහද ගනුදෙනුවලදී එක් රටක අභ්‍යන්තර කාරණා ගැන සඳහන් කිරීම රාජ්‍යතාන්ත්‍රික නොවන බව මෙහිදී නොදැන සිටියේ ද ?


අනෙක් කාරණය වන්නේ මෙම පණිවුඩයෙන් තෙවැනි පාර්ශ්වයක්ද විවේචනය වීමය. ඒ ඇමරිකා එක්සත් ජනපදයයි. වාමාංශික යැයි හඳුන්වනු ලැබූවද මේ ආණ්ඩුව එරට සමග ඉතා සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව රහසක් නොවේ.


එතැනදි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සමග පවත්නා ඇයි හොඳයිකමේ ස්වභාවයද මේ සුබ පැතුම් පණිවුඩයේදී සැලකිල්ලට ගෙන නැත. ජාජබ බලයට පත් වූ අලුතම රුසියාවේ පැවැත් වුණු බ්‍රික්ස් සමුළුවට රුසියන් ජනාධිපතිවරයා ආරාධනය කර තිබියදීත් අප ඊට සහභාගි වූයේ නැත. පාර්ලිමේන්තු මැතිවරණය නිසා සහභාගි නොවන බව කියා සිටියද එසේ කෙරුණේ බ්‍රික්ස් සංවිධානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදයට ලක්වීම වැළැක්වීමට යැයි දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසුවක්ද පැවතුණේය.


අප ඉහත සඳහන් කළ පරිදි වාමාංශික බස්වහරෙන් ලියවී ඇති පණිවුඩය අපේ ආණ්ඩුවේ සිටින වාමාංශිකයන්ගේ නම් ආස්වාදයට හේතුවෙනවා නොඅනුමානය. ඊට හේතු වනු ඇත්තේද එය ලියවී ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් නොව දේශපාලන බසින් නිසාය.


වාමාංශික හා දක්ෂිණාංශික වැනි දේශපාලන මතවාද ලෝකයේ දිගටම පවතිනු ඇති බවට සැකයක් නැත. එහෙත් දැන් දැන් ජාත්‍යන්තර සබඳතාවලදී එබඳු දේශපාලන මතවාදවලට ලැබෙන්නේ අඩු වැදගත්කමක් බව ලෝක දේශපාලනය ගැන දන්නෝ දනිති. ජනාධිපති කාර්යාලයේ හා විදේශ අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඒ බව නොදැන සිටීම කනගාටුදායකය.

 

More News..