roadBlockAd
brand logo
logo
වෙන්න නොදී මත් - කරමුද සිරිමත්

වෙන්න නොදී මත් - කරමුද සිරිමත්

30 January 2024

සෑම වසරකට 40,000ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කළ කරුණක් ප්‍රධාන පුවත ලෙසින් ඊයේ (29 වැනිදා) ‘අරුණ’ වාර්තා කර ඇත.


හතළිස්දහසක් නොව එක් අයෙක් හෝ මත් භාවිතය නමැති මේ ‘නරකාදියෙන්’ මිදෙනවා නම් එය සතුටට කරුණකි. තමන් ද, තම බිරිඳ, දරුවන් ද, මවුපිය සහෝදරාදීන් ද, හතරවරිගයද වධ වේදනාවේ දමමින්, නිගාවට පත්කරමින්, සමස්ත සමාජයටම පිළිලයක් වෙමින් ජීවත්වූ අයෙක් මතින් මිදීම යනු හතර වරිගයම, සමස්ත සමාජයම සුවපත්වන ආකාරයේ යහපතකි. එසේම මත්ලෝලී සිතට, මත්ලෝලී ගතට යට නොවී එම ඇබ්බැහියෙන් මිදීම පිණිස අධිෂ්ඨානයෙන් කටයුතුකර ප්‍රතිඵල ලබාගන්නේ නම් එය මහත් වික්‍රමයකි. ඒ වික්‍රමය පිණිස මත්ලෝලියාට උපකාර කිරීම සමාජ වගකීමක් මෙන්ම සමාජ යුතුකමක් ද වන්නේය.


ඒ වගකීම, ඒ යුතුකම ඉටුකිරීමට හොඳම මොහොත දැන් එළැඹ ඇත්තේය. ඒ අවස්ථාව උදාකර දී ඇත්තේ ‘යුක්තිය’ මෙහෙයුමය විසිනි. මෙම මෙහෙයුම ගැන කාට මොන අමාරුව තිබුණිද, එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතී. එහි එක් ප්‍රතිඵලයක් වනුයේ සමාජයේ කුඩු හිඟයක් මතුව තිබීමය. ඒ අනුව මේ මත්කුඩට ඇබ්බැහිවූවන් මේ වන විට විකල්පයක් ලෙසින් බුලත්විටට යොමුව ඇතැයිද පුවතක් ඉකුත්දා ‘අරුණ’හි පළවිය. බුලත්විටෙහි ද අතුරු ආබාධ ඇතිවිය හැකි නමුත්, හානිය අතින් සැලකූ විට මත්කුඩට ඇබ්බැහිවීමේ හානිය‍‍ට සාපේක්ෂව බුලත්විටේ තත්ත්වය අහිංසකය. එබැවින් ‘කුඩ්ඩෙක්’ වනවාට වඩා ‘බුලත් හපයෙක්’ වීම සාපේක්ෂව හොඳය. එය එතැනට පත්වන්නට ඉඩ දෙන අතරවාරයේ එයින්ද මෙපිටට හෙවත් බුලත්වි‍ටට හෝ ඇබ්බැහි නොවන පුද්ගලයකු බිහිවන්නේ නම් මැනවි. ඒ පුද්ගලයා බිහිකිරීම පිණිස මේ වන විට කාලය උදාවී ඇත. පරිසරය සකස්වී ඇත.


යුක්තිය මෙහෙයුම නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මතෙන් මිදී සිටින පිරිස් යළිත් මේ නරකාදියට නොවැටෙන සේ සමාන්තරව තවත් මානුෂීය මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක විය යුතු බව අපගේ හැඟීමය. සාම්ප්‍රදායික පුනරුත්ථාපන ක්‍රමවේදයන් හෙවත් නයාට අඳුකොළ මෙන් පුනරුත්ථාපන වැඩසටහන් වෙනුවට වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල සහිත හෙවත් මතින් සදහටම නිදහස් මනුෂ්‍යයකු හැදීමේ වැඩපිළිවෙළ වෙත යා යුතු වන්නේය. එවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් බල්ලන් නාවන්නට රැගෙන යන ලෙසින් පුනරුත්ථාපන කඳවුරු වෙත මත්ලෝලීන් යොමුකරනු වෙනුවට, මත්ලෝලීන් ස්වකැමැත්තෙන්ම එයට යොමුවනවාද ඇත.


නමුත් ‘යුක්තියේ’ කකුලෙන් අදිනවා විනා, එම මෙහෙයුමේ ප්‍රතිඵල එවැනි තැනක් දක්වා රැගෙන යෑමට දායකවන පුද්ගලයන් හෝ සංවිධාන නම් නැත. එම මෙහෙයුම සම්බන්ධයෙන් ජනතාව තබාගෙන ඇති බලාපොරොත්තුව කුමක්ද යන්න වටහාගෙන එයට අනුව ක්‍රියාත්මක වන්නෝ නැත්තාහ. ජනතාවට ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් ඇති බලාපොරොත්තුව වන්නේ මතින් තොර රටක නිදහසේ ජීවත්වීමයි. මත් උවදුරක් නොමැති හෙටක් මේ රටේ ඇතිවීමයි.


මත් උවදුරෙන් තොර රටක් හැදිය හැකි ආකාර දෙකකි. එකක් නම් මත් ජාවාරමට පහරදී එය සහමුලින්ම බිඳදැමීම සහ මත් ලෝලීන් අල්ලා පුනරුත්ථාපනයයි. දෙවැන්න නම් රටවැසියා මතට යොමුවීම වළක්වාලීමයි. යුක්තිය මෙහෙයුම මගින් ඉටුවනුයේ මෙම පළමු ක්‍රමවේදයේ එක්තරා කොටසකි. එහිදී මත්ලෝලීන් පුනරුත්ථාපනය යන කරුණ පවා අපේක්ෂිත ප්‍රතිඵල සහිතව සිදුවේද යන්න සැකසහිතය. පුනරුත්ථාපනය යනු පොලිස් දෙපාර්තමේන්තුව සතු කාර්යයක් නොවනවා මෙන්ම, බුරුතු පිටින් මත්ලෝලීන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකෙරෙන විට ඒවායේ පහසුකම්ද ප්‍රමාණවත් නොවී අපේක්ෂිත අරමුණ කරා යෑමට ඒවාට නොහැකි වනවාද ඇත. මේ මොහොතේ රටක් ලෙස අපගේ ඒකායන අරමුණ විය යුත්තේ මත්ලෝලියා ‘අල්ලා ගැනීම’ පමණක් නොව මත්ලෝලියා සදහටම එයින් ‘ගලවා ගැනීම’ද විය යුත්තේය. ඒ අනුව මත්ලොලීන් අල්ලාගැනීමේ කටයුත්ත ‘යුක්තිය’ විසින් අඛණ්ඩව සිදුවන අතරවාරයේ එයට සමාන්තරව ක්‍රියාත්මක විය යුතු තව වැඩසටහන් රැසක් තිබිය යුතුය.


‘පුනරුත්ථාපන සංවර්ධන නිලධාරි’ නමින් සෑම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයකම නිලධාරියකු බැගින් සිටින්නේ යැයි කීවද පොදු මහජනතාවගෙන් බහුතරයක් එවැනි නිලධාරියකු ගැන නොදනියි. එවැනි නිලධාරියකුගේ කාර්යය ගැන නොදනියි. එවැනි නිලධාරියකු මැදිහත්ව මතින් බේරාගත් උදවිය ගැන නොදනියි. එබැවින් නාම මාත්‍රික පත්වීම් ලබාදීමෙන් ඔබ්බට ගොස්, ප්‍රායෝගිකත්වයක් සහිත සක්‍රීය යාන්ත්‍රණයක් ඔස්සේ ගමක් ගමක් පාසා මතට එරෙහි සහ මතින් මුදාගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සුදුසුම මොහොතය මේ එළැඹ ඇත්තේ.


මෙහිදී පූජ්‍ය හා පූජක පක්ෂයට හෙවත් ආගමික නායකත්වයට කළ හැකි කාලෝචිත, භාරදූර කාර්යයක් තිබේ. එනම් ආගමික උපදේශනය මගින් මතෙහි ආදීනවය පෙන්වා රටවැසියා එයින් ඈත් කිරීමය. මත්ද්‍රව්‍ය භාවිතය ජීවිතයෙන් දුරින් දුරු කිරීම පිණිස බණ හෝ දේශනාව නමැති සාම්ප්‍රදායික ක්‍රම‍වේද පමණක් නොව එයින්ද ඔබ්බට ගිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය. සෑම පාසලකම නව යොවුන් වියේ දරුවන් ආමන්ත්‍රණය කෙරෙන සේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කිරීමට සුදුසුම මොහොතද මෙයයි. මත්ලෝලීන් බහුලව වාර්තාවන ප්‍රදේශවල පිහිටි පාසල් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය යුතුය. කොළඹ ‘කටු ඉස්කෝල’ ලෙසින් හැඳින්වෙන හෙවත් කොළඹ නගරයට ඉතා නුදුරේ පිහිටි වතු ආශ්‍රිත ජනයාගේ දරුවන් අධ්‍යාපනයේ යෙදෙන මෙවැනි පාසල් ඉලක්ක කරමින් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වුවහොත්, මත් ගොහොරුවටම වැටීමට නියමිත මීළඟ පරම්පරාව ඉන් මුදාගැනීමට හැකිවනවා ඇත.


එක් පෙරමුණකින් රටේ පොලිසියත්, තව පෙරමුණකින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත්, තවත් පෙරමුණකින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයත්, වෙනත් පෙරමුණකින් ආගමික ප්‍රජාවත්, තවත් පෙරමුණක් ලෙසින් අධ්‍යාපන අමාත්‍යාංශයත් ආදිය එක්ව පෙරමුණු රැසකින් එකවර මතට එරෙහිව ක්‍රියාත්මක වුවහොත් ඔය මොන කුඩු රජාටත් ‘බිස්නස්’ නැතිවනු ඇත. මෙය මතින් බේරාගැනීමට නොහැකි රටක් නොව, මතින් බේරාගැනීම පිණිස එතෙක් හරිහැටි වැඩසටහනක් ක්‍රියාත්මක නොවුණු රටක් බව එහිදී ප්‍රත්‍යක්ෂ වනු ඇත.

 

More News..