අනෝජන්ට ලබාදුන් නිදහස වෙනුවෙන් ජනපතිගෙන් 'X' සටහනක්
14 October 2026
අනෝජන්ට ලබාදුන් නිදහස වෙනුවෙන් ජනපතිගෙන් 'X' සටහනක්
14 October 2026
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සෞදි ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණයේ මෙම තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය නිල 'X' ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපතිවරයා එහි දක්වා තිබේ.
මෙම යහපත් ප්රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බව හෙතෙම පෙන්වා දී ඇත.
මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්ය තාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්රී ලංකා රජයේ ප්රණාමය හිමිවන බව ජනපතිවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහයෝගය ඉදිරියටද ලබාදීමට රජය සූදානමින් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණි.

