පොලිසියේ වෙනස් විය යුතු අවලස්සන තැන්!
18 July 2025
පොලිසියේ වෙනස් විය යුතු අවලස්සන තැන්!
18 July 2025
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ආරම්භ කළ රූපලාවණ්‍යාගාරය පිළිබඳ යම් හා හූවක් ඇතිවී තිබේ. සාමාන්‍යයෙන් පොලිසිය පිළිබඳ සමාජයේ තිබෙන්නේ අවලස්සන අදහසක් යැයි සඳහන් කළහොත් එය සදොස් නැත. පොලිසිය පිළිබඳ ලස්සන අදහස් තිබෙන හතර පස් දෙනකුවත් සොයා ගැනීම නරි අඟ සොයාගැනීමටත් වඩා අපහසු කරුණක් බව නිසැකය. ඒ තරමට අවලස්සන අදහස් පැතිර තිබේ. ජීවිතයේ කවර හෝ අවස්ථාවක පොලිස් ස්ථානයකට ගොඩ වැදුණු පුද්ගලයෙක් යළි ලස්සන අදහසකින් එළියට එන්නේ නම් එය ගිනස් වාර්තා පොතට යැවිය යුතු වාර්තාවක් තරමට මෙකී තත්ත්වය වර්ධනය වී තිබේ. තතු එසේ වුවද, පොලිසිය ද ලස්සනට ඇඳල පැළඳලා සිටීමට කැමැති පිරිසක් බව රට දැනගත්තේ මෙකී රූපලාවණ්‍යාගාරය පිළිබඳ කතාවෙනි. එයට පෙර පොලිස් නිලධාරීන් සඳහා රූපලාවණ්‍යාගාරයක් තිබුණු බවත්, නව රූපලාවණ්‍යාගාරය පොලිස් නිලධාරීන්ට බවත් දැන ගන්නට ලැබේ. පොලිස් ලොක්කන් නම් හොඳට පිළිවෙළට සිටින අයුරු අපට දැකිය හැකිය.
එහෙත් පොලිස් පොඩ්ඩන්ගේ කතාව නම් එතරම් සුන්දර නැත. තවම අපේ රටේ තිබෙන්නේ මහ පාරේ අව්වට පිච්චෙන, වැස්සට තෙත බරිත වන, දූවිල්ලට දුමට ජීවිතය පරදුවට තබන පොඩ්ඩන්ගේ පොලිසියකි. පොලිසිය තාක්ෂණික වශයෙන් නවීකරණය කළ යුතු යැයි අදහසක් ඉදිරිපත් වූයේ අද ඊයේ නොවේ. ඒ නවීකරණයේ තරම පැහැදිලි වන්නේ පාරේ වාහන හසුරවා ගැනීමට තවම පොලිස් නිලධාරීන්ට මහ පාරේ නරා දුක් විඳීමට සිදුව තිබෙන තරමෙනි. මෙතරම් තාක්ෂණය ඉහළ ගොස් තිබෙන කාලෙක පාරේ වාහනයක් හසුරවා ගැනීමට පොලිසිය මහ පාරේ සිටිය යුතුද? මෙවැනි කටු නම් කන්නේ සොක්කන් මිස ලොක්කන් නොවන බව රහසක් නොවේ. මහ පාරේ එවැනි කටු කෑවද පොලිස් නිලධාරියකුට වසරකට හිමිවන්නේ නිල ඇඳුම් දෙකක් වැනි ප්‍රමාණයකි. සපත්තු කුට්ටම් එකකි. අඩුම වශයෙන් මහ පාරේ දුෂ්කර රාජකාරිවල යෙදී සිටින පොලිස් රාලහාමිලාට මෙබඳු පහසුකම් වැඩි කළ යුතු නොවේද? අප වැනි ඝර්ම කලාපීය රටවලට ඝන පොලිස් නිල ඇඳුම යෝග්‍ය නොවන බවට මැසිවිලි නැගුණේ කාලයක් තිස්සේය. එසේම සපත්තු කුට්ටමේ සහ නිල හිස් වැසුමේ අධික බර පිළිබඳව ද එවැනි අඳෝනා නැගුණි.
එසේම බොහෝ පොලිස් ස්ථානවල තවම රාජකාරිවලට යාමට නිසි ප්‍රවාහන පහසුකම් නැත. රාජකාරියකට ගියද යළි පොලිස් ස්ථානයට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොමැත. මෙබඳු දහ දුක් වින්ද ද පොලිස් කොස්තාපල්වරයකු හෝ කොස්තාපල්වරියකට උසස්වීමක් ලබා ගැනීමට තිබෙන ක්‍රමවේදය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමට දෙවැනි වන්නේ නැත. පොලිස් කොස්තාපල්වරයකුට පොලිස් සැරයන් ධූරයට උසස්වීමක් ලබාගැනීමට දශක දෙකකට ආසන්න කාලයක් බලා සිටිය යුතුය. එසේ බලා සිටියද සමහරුන්ට උසස්වීම් ලැබෙන්නේ නැත. පොලිස් දෙපාර්තමේන්තුවට ජීවිත කාලයම කඹුර කඹුරා ඔවුන්ට ගෙදර යාමට සිදුවන්නේ ද පොලිස් කොස්තාපල්ලා හැටියටය.
එය කවර නම් අභාගයක් ද? වැටුපක් වැඩි වන්නේ උසස්වීමක් ලැබුණු විටය. ඒ සඳහා කාලාන්තරයක් බලා සිටීමට සිදුවීම හේතුවෙන් ඉතාම අවම වැටුපකට වැඩ කිරීමට කණිටු පොලිස් නිලධාරීන්ට සිදුවේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබීමේදී කණිටු නිලධාරීන්ට සිදුවන අසාධාරණකම් ද බොහෝ අවස්ථාවල සාකච්ඡාවට ලක් වූ කරුණකි. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂ මන්ත්‍රිවරයකු හැටියට කටයුතු කරන කාලයේදී එනම් 2016 වසරේ පෙබරවාරි 25 වැනිදා ස්ථාවර නියෝග 23/2 යටතේ මේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයේ තිබෙන අයුක්ති සහගත බව පිළිබඳව කතා කළේය. අප දන්නා පරිදි තවම එම අයුක්ති සහගත ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වී නොමැත.
පොලිස් නිලධාරීන්ගේ මුහුණ ලස්සන කරනවා සේම මේවා පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. එසේම මෙහිලා අවධාරණය කළ යුතු තවත් කරුණක් නම් තවම පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ වහලා සහ ස්වාමියා අතර තිබෙන ආකාරයේ සබඳතාවක් බවය. ඉහළ නිලධාරීන්ගේ සැර පරුෂ අසෝබන වචනවලට නිරන්තරයෙන් මුහුණ දීමට කණිටු පොලිස් නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට සිදුවෙයි. මේ නිසා නිරන්තර පීඩනයකින් ජීවත්වීමට පොලිස් කණිටු නිලධාරීන්ට සිදුවෙයි. මෙවැනි අවලස්සන තැන් වෙනස් කර ලස්සන පොලිසියක් ගොඩනැගීම කෙරෙහි වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු විය යුතුය. අවලස්සන තැන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ බහුල වීම නිසා උද්ගත වන පීඩනය පහළ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරන්නේ පොලිස් ස්ථානයේදී හෝ මහ මඟදී තමන්ට හමුවන අහිංසක පුරවැසියන් මගිනි. සමහර පොලිස් නිලධාරීන් සැකකරුවකුට ප්‍රතිචාර දක්වන්නේ ව්‍යාඝ්‍රයකු හෝ කොටියකු ගොදුරකට දක්වන දරුණු ප්‍රතිචාරවලටත් වඩා අන්ත විදියටය. මේ අවලස්සන තැන් වෙනස් විය යුතුය. පොලිසිය මනුස්සයකුට ආව ගිය හැකි තැනක් විය යුතුය. සැකක් බියක් නැතිව පොලිස් ස්ථානයකට යා හැකි විය යුතුය. ගොරක දඩමස් කරන තැනක් බවට පොලිසිය පත්නොවිය යුතුය. පොලිසිය බලෙන් ඇඟේ නඩු එල්ලන තැනක් නොවිය යුතුය. මේ සියලු අවලස්සන තැන් වෙනස් කර ලස්සන පොලිසියක් මේ කපේවත් ගොඩ නැගීමට ප්‍රඥාව පහළ වේවා!