ශ්රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
27 October 2026
ශ්රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
27 October 2026
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්යාපාරය, අධ්යාපනය ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
ජර්මනියේ ජාතික එක්සත් දින සැමරුම වෙනුවෙන් ඊයේ (26) කොළඹදී පැවැති පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රජය සහ ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් ජර්මනියේ ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට සිය සුබපැතුම් පිරිනැමූ ඒ මහතා, 1990 වසරේ ජර්මනිය යළි එක්සත් වීම සිහිපත් කරන ජර්මන් එක්සත් දිනයේ වැදගත්කම ද අවධාරණය කළේය.
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්යතාන්ත්රික සබඳතා 1953 වසරේදී ආරම්භ වූ අතර, එතැන් සිට දේශපාලන, ආර්ථික, අධ්යාපනික, සංස්කෘතික සහ සංවර්ධන ක්ෂේත්ර ඔස්සේ දෙරටේ සහයෝගීතාව වර්ධනය වී තිබේ.
ජර්මනිය ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, 2025 වසරේදී ජර්මනිය වෙත සිදුකළ මෙරට අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා ඇත.
එමෙන්ම ජර්මානු සමාගම් 160කට වැඩි සංඛ්යාවක් ශ්රී ලංකාවේ ක්රියාත්මක වන බව ද මෙහිදී සඳහන් කෙරිණි.
සංචාරක ක්ෂේත්රය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේ 2025 වසරේදී ජර්මානු සංචාරකයන් 147,966 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඒ අනුව ජර්මනිය ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම සංචාරක වෙළෙඳපොළ බවට පත්ව තිබේ.
අධ්යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ජර්මනිය ලබාදෙන සහාය ද ඇගයීමට ලක් කළ ඒ මහතා, ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය හෙවත් ‘ජර්මන් ටෙක්’ මෙරට කාර්මික පුහුණු ක්ෂේත්රයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව සඳහන් කළේය.
'දිට්වා' සුළිකුණාටුවෙන් පසු ජර්මනිය ලබාදුන් සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ ඔහු, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්රී ලාංකික ප්රජාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන බව ද මෙහිදී සඳහන් විය.
ජර්මනිය සමඟ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ නව හවුල්කාරිත්ව අවස්ථා ඇති කිරීම සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

