පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයි
16 November 2026
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයි
16 November 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ කාවන්තිස්ස හස්තියා මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 23 වැනි දින යෝජනාවක් කථානායකවරයා වෙත යොමු කළ බවය.
කෙසේ නමුත් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී ඇතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම ඊට පසුව ඉදිරිපත් කරන ලද වෙනත් යෝජනා සඳහා පවා ප්‍රමුඛතාව ලබා දෙමින් කාරක සභාව කටයුතු කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ කාවන්තිස්ස හස්තියා ඇතුළු වනජීවි සම්පත සම්බන්ධයෙන් පවතින ජාතික වැදගත්කම සහ හදිසි අවශ්‍යතාව පිළිබඳව රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බවත් විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
මෙම ක්‍රියාකලාපය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස තමා වෙත පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තුමය වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා අර්ථවත් හා ඵලදායී ලෙස සහභාගී වීමටත් ඇති අයිතියට අයුතු බාධා සිදුව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.
ඒ අනුව මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මෙන්ම පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමක් ලෙසද සලකා බැලිය හැකි බවත් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් තමන් ඉදිරිපත් කරනු ලබන මෙම පැමිණිල්ල ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


