brand logo
logo
රටේ පවතින ශ්‍රම හිඟය නිසා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන්න වෙලා

රටේ පවතින ශ්‍රම හිඟය නිසා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන්න වෙලා

22 October 2026

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව 2026 වර්ෂයේ ශ්‍රී ලංකා ආයෝජන තත්ත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙරට දේශීය වෘත්තිකයන් රට හැර යාම නිසා ඇති වන පුරප්පාඩු පිරවීමට ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවලින් විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමට වී ඇති බවද කියැවෙයි. දේශීය ශ්‍රම වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති මෙම තත්ත්වය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය පූජ්‍ය විජිතපුර විමලරතන හිමියන් සමග 'අරුණ' කළ සාකච්ඡාවකි මේ.


අපේ රටේ පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරනවා. මේ තත්ත්වය ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?


ශ්‍රමිකයන් අඛණ්ඩව රට හැර යාම කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ මානව ප්‍රාග්ධනයට එල්ල වන බරපතළ පහරක්. සෞඛ්‍ය, අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍රවල සේවා කඩා වැටීමට 'බුද්ධි ගලනය' ඍජුවම බලපානවා. එය රටේ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම සමාජයීය සුබසාධනය සහ තාක්ෂණික ප්‍රගතිය අඩාළ කිරීමටත් හේතුවක්. අද වන විට භාණ්ඩ හා සේවා පමණක් නොවෙයි ශ්‍රමිකයන් සහ ශ්‍රමය ද දේශසීමා ඉක්මවා ලාභදායී අවස්ථා සොයා සංක්‍රමණය වන බව අපි වටහාගත යුතුයි. ලෝකයේ දියුණු සහ නැගී එන රටවල් උග්‍ර ශ්‍රම හිඟයකට මුහුණ දී සිටින පසුබිමක ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ද්විත්ව අර්බුදයකටයි. එක් අතකින් රට තුළ පුහුණු හා නුපුහුණු ශ්‍රම හිඟයක් ඇති වෙලා. අනෙක් පැත්තෙන් රටේ රැඳී සිටින පිරිසෙන් උපරිම ශ්‍රම දායකත්වයක් ගැනීමටත් අපි සමත් වෙලා නැහැ.


අපේ රටේ බොහෝ දෙනෙක් රට හැර යද්දී, විදේශ රටවලින් මෙරටට පුහුණු ශ්‍රමිකයන් ගෙන්වන්න වී තිබෙන බවකුත් කියැවෙනවා නේද?


දේශීය පුහුණු ශ්‍රමිකයන් සංක්‍රමණය වීම හේතුවෙන් ඉදිකිරීම් සෞඛ්‍ය සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ක්ෂණික ශ්‍රම හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම සහිත ශ්‍රමිකයන් දේශීයව නිර්මාණය වෙලත් නැහැ. සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට නිම කරන්න වීම නිසා ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශ ශ්‍රමිකයන් අපේ රටට ගෙන්වන්න වෙලා තියෙනවා. නමුත් රට තුළ පවතින සැබෑ ශ්‍රම හිඟය ක්ෂේත්‍ර මට්ටමින් නිවැරදිව ගණනය කිරීමට විධිමත් ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් නැහැ. ඒක ප්‍රධානම ගැටලුවක්.


වර්තමාන ගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාව විශාල ශ්‍රම අර්බුදයකට මුහුණ දෙමින් සිටීමට හේතුව මොකක්ද


ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් වර්ධනය වීමට බලපෑවේ වත්මන් සාර්ව ආර්ථික පසුබිමයි. ආර්ථික අර්බුදයත් සමග රුපියල අවප්‍රමාණය වීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධනය නිසා මෙරට වෘත්තිකයන්ගේ සැබෑ මිල දී ගැනීමේ හැකියාව සියයට 70 කට වඩා අඩු වුණා. නාමික වැටුප් එලෙසම පවතිද්දී උද්ධමනය, වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යාම සහ ජීවන වියදම දැඩි ලෙස ඉහළ යාම නිසා වෘත්තිකයන්ට තමන්ගේ ජීවන මට්ටම පවත්වා ගැනීමට නොහැකි වුණා.


ලංකාවේ සමස්ත ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය තියෙන්නේ සියයට 47 ක වැනි අඩු මට්ටමකයි. මෙරට වෘත්තිකයන් කුසලතාවයට සරිලන සාධාරණ මූල්‍ය ඇගයීමක් සොයා විදේශගත වෙනවා. අපට වඩා පසුපසින් සිටි බංග්ලාදේශයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ කළමනාකරණ මට්ටම්වල ශ්‍රී ලාංකිකයන් හයදහසකට අධික පිරිසක් සේවය කරනවා. එයින් අපට විදේශ විනිමය ලැබුණත් ඔවුන් සතු දැනුම තරගකරුවන් අතට පත්ව තිබෙනවා. බංග්ලාදේශය ඔවුන්ගේ ඇඟලුම් වෙළෙඳපොළේ අධිවේගී වර්ධනයක් අත්කර ගත්තේ මෙරටින් ගිය ඉහළ පෙළේ වෘත්තිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන්. නමුත් අපේ රටේ පවතින ශ්‍රම හිඟය නිසා එම හිඩැස පිරවීමට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන්න වෙලා තියෙනවා.


ශ්‍රී ලංකාවට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී රටින් පිටතට ඩොලර් ගලා යාම සහ නීතිමය රාමුවල පවතින ගැටලු කළමනාකරණය කරන්නේ කෙසේද?


විදේශීය ශ්‍රමිකයන් ගෙන්විය යුත්තේ විධිමත් ප්‍රතිපත්ති සහ නීතිමය රාමුවක් යටතේයි. මීට අදාළව මූලික කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පළමුව දේශීය ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින් සැබෑ හිඟයක් පවතින විදේශ විනිමය උපයන අංශවලට පමණක් සීමා කිරීමයි. එමෙන්ම විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට අවසර දීම සහ විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන මත 'සේවා යෝජක බද්දක්' පැනවීමයි. දෙවනුව වැටුප් බැංකු ක්‍රමය හරහා පමණක් කිරීම අනිවාර්ය කිරීමෙන් උන්ඩියල් හෝ හවාලා වැනි නීතිවිරෝධී ජාල මැඬපැවැත්විය හැකියි.


තෙවැන්න විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමේදී ශ්‍රමික අයිතිවාසිකම් අවම වැටුප් සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා වන විධිමත් ද්විපාර්ශ්වික ශ්‍රම ගිවිසුම් සහ දැඩි නීතිමය රාමුවක් ඇති කිරීමයි. ඩොලර් පිටතට යාම පිළිබඳව අප බිය විය යුතු නැහැ. අපේ ප්‍රවේශය විය යුත්තේ විදේශ විනිමය උපයන මූලෝපායික ක්ෂේත්‍රවලට විදේශ ශ්‍රමය යෙදවීමයි. ඔවුන් රටේ ආර්ථිකයට එකතු කරන වටිනාකම ඔවුන් වැටුප් ලෙස පිටරටට යවන මුදලට වඩා කිහිප ගුණයකින් ඉහළයි. සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල් දියුණු වූයේ විදේශීය ශ්‍රම බලකායෙනුයි.


දේශීය ශ්‍රම සැපයුම ඉහළ නැංවීම සඳහා කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කර ගැනීමේදී පවතින බාධා මොනවාද?


මෙරට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය පවතින්නේ සියයට 30ත් 35ත් අතර පහළ මට්ටමකයි. උසස් අධ්‍යාපනය ලබන බහුතරය කාන්තාවන් වුණත් විවාහයෙන් පසු ගෘහස්ථ වගකීම් ළමා සුරැකුම් මධ්‍යස්ථාන හිඟය, සහ නම්‍යශීලී සේවා මුර නොමැතිකම නිසා ඔවුන් රැකියාවලින් ඉවත් වෙනවා. සේවා ස්ථාන ආශ්‍රිතව ළමා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම, නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්ති සහ අර්ධකාලීන රැකියා නීතිගත කිරීම වැනි ක්‍රමවේද හරහා කාන්තා ශ්‍රම දායකත්වය සියයට 50 ක් දක්වා ඉහළ නැංවිය හැකි නම් එය දේශීය ශ්‍රම හිඟයට ස්ථාවර විසඳුමක් වෙනවා.


ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල පවතින උග්‍ර ශ්‍රම හිඟයට දේශීය තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?


අපේ රටේ වත්මන් තරුණ පරපුර අධ්‍යාපන ක්‍රමය තුළින් ධවල වස්ත්‍ර රැකියා වෙත නැඹුරු වෙනවා. ඉදිකිරීම් හෝ කෘෂිකාර්මික රැකියා කටුක භයානක සහ දුෂ්කර රැකියා ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙයට පිළියමක් ලෙස පාසල් හැරයන පිරිසට නවීන කාර්මික පුහුණුව ලබාදීමේ ඇති වෘත්තීය තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු පද්ධතියේ පවතින ආයතනික අකාර්යක්ෂමතාවන් වහාම මගහැරවිය යුතුයි. එමෙන්ම මෙම වෘත්තීන් සඳහා පවතින සමාජීය අපකීර්තිය තුරන් කර ඉහළ සාමාජීය පිළිගැනීමක් සහ වෘත්තීය ගෞරවයක් ලබා දිය යුතුයි. කර්මාන්ත ස්වයංක්‍රීයකරණය සහ තාක්ෂණය මුසු කිරීම මගින් රැකියාවේ ස්වභාවය ආකර්ෂණීය කළ හැකියි. එසේ නොමැති වුණොත් එම හිඩැස පිරවීමට විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ.


දේශීය පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් රට තුළම රඳවා ගැනීමට රජය වහාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?


ප්‍රධාන වශයෙන්ම රජය විසින් වැටුප් මට්ටම් පමණක් නොව ආර්ථික ව්‍යුහයත් ස්ථාවර කළ යුතුයි. කෙසේ වෙතත් ඵලදායිතාව ඉහළ නැංවීමකින් තොරව වැටුප් හෝ ආදායම් මට්ටම් ඉහළ දාන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා කාර්මික බුද්ධිය, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථාන ඇති කරලා, උසස් අගය එකතු කළ සේවා සපයන විදේශීය ආයතන ආකර්ෂණය කර ගත යුතුයි. ඒ සමගම වෘත්තිකයන්ගේ බදු බර සීමා කිරීම, වෘත්තීය දියුණුව සඳහා ඇති නිලධාරීවාදී බාධා ඉවත් කිරීම සහ උසස් අධ්‍යාපන විෂයයමාලා නවීන ක්ෂේත්‍රවලට අනුකූලව යාවත්කාලීන කිරීම ආදියත් අත්‍යවශ්‍යයි.


ශ්‍රම අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු දිගුකාලීන ක්‍රියාමාර්ග මොනවාද?


අපේ සමාජයේ මුල් බැසගෙන තිබෙන ඍණාත්මක මානසිකත්වය අපේ ප්‍රධානම බාධකයයි. විදේශීය ආයෝජන හෝ විදේශීය ශ්‍රමිකයන් පැමිණීම දෙස අනවශ්‍ය බියකින් සහ සැකයකින් තමයි අපි බලන්නේ. බ්‍රිතාන්‍ය ලංකා සමයේ ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය ආකෘතිය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ යුතුය. එහිදී ඔවුහු ඉඩම් හැර අනෙක් සියල්ලම පාහේ පිටතින් ගෙන්වීමට කටයුතු කළා. මෙම ප්‍රතිපත්තිය යටතේ ඔවුන් මේ රටේ ආර්ථිකයේ දැවැන්ත විප්ලවීය වෙනසක් ඇති කළා. මෙම ආකෘතිය පිළිබඳව නැවැත සිතා බැලීමට දැන් කාලය එළැඹිලා තියෙනවා. වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ඉදිරියට ගියේත් විදේශීය සහයෝගිතාව සහ ශ්‍රම සංචලනය තුළිනුයි. ඒ නිසා අපිත් දේශීය ශ්‍රම බලකාය සවිමත් කළ යුතු යි. පවතින හිඩැස පිරවීමට විධිමත් නීතිමය රාමුවක් සහිතව විදේශීය ශ්‍රමිකයන් සඳහා දොරටු විවෘත කළ යුතු වෙනවා. එසේ නොවුණොත් දේශීය කර්මාන්ත සහ සේවා බිඳ වැටිලා සමස්ත ආර්ථිකයම අර්බුදයකට ලක්වීම වළක්වන්න පුළුවන්කමක් නෑ.

 

More News..