brand logo
logo
පෙරියතම්පනේදී දිවිපිදූ අභීත රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු නිවසට

පෙරියතම්පනේදී දිවිපිදූ අභීත රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු නිවසට

29 August 2026


දේශයේ මුරදේවතාවෙකු ලෙස මවුබිම වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගය කළ 7 වන සිංහ රෙජිමේන්තුවට අයත් පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම් විරුවාණන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පසුගියදා එම නිවස වෙත පැමිණියේය.


2007 නොවැම්බර් මස 11 වන දින පෙරියතම්පනේ ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්ල වූ සතුරු වෙඩි ප්‍රහාරයකින් සැරයන් අනුර බරපතල ලෙස තුවාල ලැබීය. එසේ බරපතල තුවාල ලබා සිටියදී පවා තමා ලැබූ තුවාල නොතකා, සිය කණ්ඩායම වෙත ධෛර්යය ලබා දෙමින් මෙහෙයුම ඉදිරියටම කරගෙන යන ලෙස දිරිගන්වූ මොහු එම ප්‍රහාරයෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මවුබිම වෙනුවෙන් දිවි පිදුවේය. එදා සටන් බිමේදී පෙන්වූ නිර්භීතභාවය වෙනුවෙන් ඔහු පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.


එලෙස අභීත ලෙස දිවි පිදූ රණවිරුවාගේ බිරිඳ වන පී. සුනන්ද විජේලතා මහත්මිය සහ දියණිය හා පුතු ඇතුළු පවුලේ සාමාජිකයන් මරදන්කඩවල පිහිටි ඔවුන්ගේ නිවසේදී හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට හා ගෞරවයට පාත්‍ර විය.


එහිදී එම පවුලේ සාමාජිකයන් සමග සුහද පිළිසඳරක යෙදුණු හමුදාධිපතිතුමා, ඔවුන්ගේ වත්මන් සුවදුක් සහ සුබසාධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කළේය. තවද, එම පවුලට අවශ්‍ය ඉදිරි සුබසාධන පහසුකම් සහ අවශ්‍යතාවන් හඳුනාගනිමින් ඒවා කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී.

 

More News..