brand logo
logo
පා.ම. අර්චුනා සහ ඇමති රාමලිංගම් අතර බහින් බස්වීමක් දුරදිග යයි

පා.ම. අර්චුනා සහ ඇමති රාමලිංගම් අතර බහින් බස්වීමක් දුරදිග යයි

16 July 2026


කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.


ඒ, මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය නිලධාරින් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදීය.


එහිදී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් විවේචනය කළ බව සඳහන්ය.


ඒ සමඟ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් ඉන් ඉවත්ව යාමට උත්සහ කළහ.


එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත.


කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් රැස්වීමෙන් ඉවත්ව යාමත් සමඟ ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනයවීමට ගිය ද පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණි.


කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. 


ඒ, කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ජුනා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.


දිස්ත්‍රික්කයේ සිදුවන දූෂණ ක්‍රියාවලට උසස් නිලධාරීන්ද හවුල් වී ඇති බවට රැස්වීමට සහභාගී වූ රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ නොසන්සුන්තාවක් හටගත්තේය. 


පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර, රැස්වීමද තාවකාලිකව කල් තැබීමට කටයුතු කෙරිණි.

 

More News..