brand logo
logo
 මත්ද්‍රව්‍ය සම්බන්ධ පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

මත්ද්‍රව්‍ය සම්බන්ධ පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

21 October 2026


මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා තිබේ.


ඒ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කර ඇත.


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සලකා බලා තිබේ.


අත්අඩංගුවට ගෙන රජයේ භාරයේ පවතින මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා යෝජිත නීති සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් එහිදී කරුණු පැහැදිලි කර තිබේ.


යෝජිත සංශෝධන අනුව, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබා ගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබා ගැනීම සහ අධිකරණ නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට යෝජනා කර ඇත.


එමෙන්ම, සැකකරුවකු නොමැති අවස්ථාවලදී හෝ මත්ද්‍රව්‍ය අතහැර දමා ගොස් ඇති අවස්ථාවලදී අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම කඩිනම් කිරීමට ද විධිවිධාන යෝජනා කර තිබේ.


මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාක්ෂි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ආරක්ෂිතව තබා ගැනීම සහ විශාල මත්ද්‍රව්‍ය තොගවලින් නියෝජිත සාම්පල ලබා ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද යෝජිත සංශෝධන මඟින් අවධානය යොමු කර ඇත.


මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.


ඒ අනුව, ග්‍රෑම් 100ක් දක්වා බරකින් යුත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම බර සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇත.


මීට පෙර පැවති ග්‍රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීම බව ද එහිදී පැහැදිලි කර තිබේ.


තවද, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වී ඇත.


මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කර තිබේ.


මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

 

More News..