ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
01 October 2026
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
01 October 2026
දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීම බව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කරන බැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනඟන රට යනු ඔවුන්ට හෙට දිනයේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොව, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන්දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටක් බවද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.
අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන, හිංසන සහ වෙනස්කම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම අපගේ වගකීමක් ලෙස සැලකිය යුතු බවද අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතු බවද සඳහන් කරයි.
සෑම දරුවෙකුටම තම හැකියාවන් පුබුදුවා ගනිමින්, තම සිහින හඹා යමින්, තමන් කැමති අනාගතයක් නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතු බවත් ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක්කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන මෙන්ම නව ලෝකයට ගැලපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
අප ගොඩනඟන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත්නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම රජයේ අරමුණ බවද සඳහන් කර ඇති ජනාධිපතිවරයා, අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමේ සිට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන සහ රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දක්වා ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල මූලික අරමුණ වන්නේ රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හෙට දවසක් උරුම කර දෙන බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
තමන් අත්විඳි ජීවිතයට වඩා හොඳ ජීවිතයක් තම දරුවන්ට උරුම කර දීම සෑම දෙමාපියෙකුගේම අපේක්ෂාව වන අතර, අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර, සුරක්ෂිත සහ සුන්දර ළමා වියක් දරුවන්ට උරුම කර දීම සඳහා රජය මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි හා ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
එසේම විෂ මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරු පරපුර මුදා ගැනීමට සියලුදෙනා එක් කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා ඇති බවද සඳහන් කරන ජනාධිපතිවරයා, දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමේ අත්හළ නොහැකි වගකීම ඉටුකරමින් සිටින බවද සඳහන් කරයි.
එවන් මොහොතක, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කර ගනිමින්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත්කරමින්, දරු පරපුරේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය සහ අනාගත අපේක්ෂා ශක්තිමත් කිරීම අරමුණු කරගත් අර්ථවත් වැඩසටහන් රැසක් සමඟ මෙවර ලෝක ළමා දින සැමරුම සංවිධානය කිරීම ද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් ඇගයීමට ලක්කර තිබේ.
රටේ සියලු දූ පුතුන්ට සතුට, සෙනෙහස සහ බලාපොරොත්තුවෙන් පිරි සුබ ලෝක ළමා දිනයක් වේවා'යි හෘදයාංගම සුබපැතුම් එක් කරන බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

