ඔළුවට හරි නැති හෙල්මට් හදලා
31 July 2026 | සාලිය කුමාර ගුණසේකර / ගයත්‍රි ගීගනආරච්චි
ඔළුවට හරි නැති හෙල්මට් හදලා
31 July 2026 | සාලිය කුමාර ගුණසේකර / ගයත්‍රි ගීගනආරච්චි
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය (SLS) නොමැතිව යතුරුපැදි හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඒවායෙහි නිෂ්පාදනය කර තිබූ හෙල්මට් 3520ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කෙරෙන සහ අලෙවි කෙරෙන ස්ථාන වැටලීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල සිදු කෙරේ. 2015 වසරේ ජූලි 16 වැනිදා නිකුත් කරන ලද 1923/65 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 විධානය අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වේ.
ඒ අනුව SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතිවිරෝධීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඉකුත් 27 වැනිදා දිවයින පුරා කරන ලද වැටලීම් 98කදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලාංඡනය නොමැති හෙල්මට් 431කට වැඩි ප්‍රමාණයක් අධිකාරියේ භාරයට ගෙන තිබේ.
මෙම වසරේ ගතවූ කාලයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් තොර හෙල්මට් සම්බන්ධ වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග 151ක් ගෙන ඇති අතර හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් එම අධිකාරිය භාරයට ගෙන ඇත. ආනයනකරුවන්, බෙදාහරින්නන් තොග හා සිල්ලර වෙළෙඳුන්, ජංගම වෙළෙඳුන් සහ මාර්ගගත ක්‍රමයට (Online) වෙළෙඳාමේ යෙදෙන්නන් ඇතුළු සියලුම වෙළෙඳ පාර්ශ්ව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය නොමැති හෙල්මට් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන්හිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය.

