වැ.බ.පොලිස්පති පාන්දර 3.30ට ක්‍රිෂ් සොරකමට මැදිහත් වෙයි
10 January 2025
වැ.බ.පොලිස්පති පාන්දර 3.30ට ක්‍රිෂ් සොරකමට මැදිහත් වෙයි
10 January 2025
කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස පහක් මිලදී ගැනීමට ආයෝජනය කළ ව්‍යාපාරිකයකුගේ මුදල් නැවත ගෙවීම පැහැර හරිමින් කළ වංචාවට මුල් වූ බව කියන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව වැඩබලන පොලිස්පති නියමයෙන් විමර්ශන අරඹා ඇත.
තමන් මෙම වංචාව සම්බන්ධව අවස්ථා 16 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ ද සාධාරණයක් ඉටු නොවනු මුත් තමාට වූ අසාධාරණය ගැන අලුයම 3.30 ට පමණ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අමතා කළ පැමිණිල්ලට එදිනම නීතිය ක්‍රියාත්මක වූ බවත් කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන චන්ද්‍රසේන කොඩිකාර ‘අරුණ’ට ඊයේ (09 වැනිදා) පැවැසීය.
‘‘මට කළ වංචාව ගැන පසුගිය ආණ්ඩු සියල්ලම යටතේ පැමිණිලි කළා. සී.අයි.ඩීයට දහසය වතාවක් ගියා. ක්‍රිස් ගොඩනැගිල්ලේ නිවාස පහක් ගන්න 2018 මුදල් ගෙවීමට අමතරව මම තවත් රුපියල් කෝටි පහළොවක් ක්‍රිස් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ගිවිසුම්ගතව මුදල් දුන්නා. එතැනින් මට නැවත ගෙව්වේ කෝටි හතහමාරයි. ඉතිරි සල්ලිත් නෑ ගෙවල් ගන්න බැඳපු සල්ලිත් නැහැ. මම බැරිම තැන කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු දාලා දේපොළ තහනම් කළා.’
ඒ අතරේ මේ ජනවාරි 07 දා ගොඩනැගිල්ල හදන්න ගත් යකඩ විකුණන්න දැනට සිටි අධ්‍යක්ෂවරයකු වන රවී වෛද්‍යලංකාර කටයුතු යොදලා තිබ්බා. එතැන රුපියල් මිලියන 1150 කට වැඩිය වටිනා යකඩ තිබ්බා. යකට විකුණන බවට ලද තොරතුරට එතැන රැකගෙන ඉඳලා කොටුව පොලිසිය ලවා යකඩ පටවපු ලොරිය අල්ලලා දුන්නා. ඒත් කොටුව පොලිසියට ගියාම ලොරියයි, සැකකරුවන්වයි මුදාහරින්න පියවර ගෙන තිබුණා. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කළ වංචාව ගැන අන්තිමට කියන්න හිටියේ වත්මන් පොලිස්පතිවරයා. මම පාන්දර 3.30 ට එයාගේ දුරකථනය අමතා මට වෙච්ච දේ කිව්වා. මට එදාම දවල් එන්න කියලා දැනුම් දුන්නා. මෙතෙක් හිටපු පොලිස්පතිවරු මේ ගැන පැමිණිලි කරන්න ගියාම මාව මඟහැරියා. හැබැයි මේ පොලිස්පතිවරයා මා සමග පෞද්ගලිකව කතා කර විස්තර ඇහුවා. මම ඉල්ලා සිටියේ නීතිය අකුරට ඉටුකරන නිලධාරියකු ලවා මේ ගැන විමර්ශන කරන්න කියලයි. ඒ අනුව වහාම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට විමර්ශන භාරදුන්නා. හිටපු පොලිස් නිලධාරියකු අධ්‍යක්ෂ ධුරය දරන මේ කොම්පැණියට විරුද්ධව පොලිස් පරීක්ෂණ ඇරඹීමට පොලිස්පතිවරයා පියවර ගත්ත ඍජු තීරණය අගය කළ යුත්තක්’’ යැයිද ව්‍යාපාරික චන්ද්‍රසේන කොඩිකාර ‘අරුණ’ට පැවැසීය.