දිට්වාවෙන් වැනසුණු සින්නනාගවිල්ලුවේ නිවාස හතක් තවම යට වෙලා
09 October 2026 | අනීෂා මානගේ
දිට්වාවෙන් වැනසුණු සින්නනාගවිල්ලුවේ නිවාස හතක් තවම යට වෙලා
09 October 2026 | අනීෂා මානගේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජලයෙන් යටවූ පුත්තලම සින්නනාගවිල්ලුව ගම්මානයේ නිවාස කිහිපයක් මාස එකොළහක කාලයක් තිස්සේ තවමත් ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් එම ගම්මානයේ ජීවත් වන ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.
ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ආ දිට්වා සුළි කුණාටුවත් සමග ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සින්නනාගවිල්ලුව ගම්මානයේ නිවාස 22ක් ජලයෙන් යටවිය. ඇතැම් නිවාස අඩි දහයක් පමණ ජලයෙන් යටවූ අතර ගම්මානයේ ජීවත්වූ ජනතාව මද්‍රසා පාසලේ නවාතැන් ගෙන තිබිණි. ගම්මානය ජලයෙන් යටවී මාස තුනක පමණ කාලයක් ගතවූ පසු ගම්වැසියන් කුලී නිවාස වෙත යැවීමට කටයුතු කර තිබූ අතර එම නිවාස වෙනුවෙන් රුපියල් විසිපන්දහසක් බැගින් මාසික කුලී ලබා දී තිබිණි.
මේ වන විට එම ගම්වාසීන් මාස හතකට අධික කාලයක් තිස්සේ කුලී නිවාසවල රැඳී සිටිති. එයට හේතු වී ඇත්තේ දිට්වා සුළි කුණාටුව පැමිණ වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද තවමත් සින්නනාගවිල්ලුව ජලයෙන් යටවී පැවතීමයි.
මේ වන විට ගම්මානයේ නිවාස 7ක් සහ මාර්ගය අඩි එකහමාරක් පමණ ජලයෙන් යටවී ඇති අතර ජලය බැස ගිය නිවාසද මේ වන විට අබලන්ව පැවතීම හේතුවෙන් ඒවායේ ජීවත්වීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
සින්නනාගවිල්ලුව ගම්මානයට එකතු වන ජලය බැස යාමට විධිමත් ක්‍රමයක් නොමැති වීමත් ජලය වාශ්ප යාම හැරුණුවිට ජලය අඩු වීමට කිසිදු ක්‍රමයක් නොමැති බව ගම්වාසීහු පැවසූහ. සින්නනාගවිල්ලුව අලුත් ගම්මානය ආසන්නයෙන් සින්නනාග නමින් හඳුන්වන විල්ලුවක් පිහිටා ඇති අතර එය පිරී යාමෙන් පිටාර ගලන ජලයද එකතු වන්නේ සින්නනාගවිල්ලුව ගම්මානයට බව ගම්මු කීහ.
සින්නනාගවිල්ලුව ගම්මානයේ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් එකල පුත්තලම දිස්ත්‍රීක් ලේකම් ඉන්දික සිල්වාගෙන් කළ විමසීමේදී හෙතෙම කීවේ මාස හයක් ඇතුළත ගමේ ජනතාවට අලුතින් ගෙවල් ලබා දෙන බවයි. දැනට ඇති ඉඩම් රජයට පවරාගෙන ජනතාවට ස්ථීර තැනක් ලබා දෙන බවට පැවසුවද ගම්මු පවසන්නේ තවමත් ඔවුන්ට පදිංචි වීමට හරිහමන් තැනක් ලැබී නොමැති බවයි.

