brand logo
logo
බන්ධනාගාර පිරී ඇත්තේ රිමාන්ඩ් සිරකරුවන්ගෙනි

බන්ධනාගාර පිරී ඇත්තේ රිමාන්ඩ් සිරකරුවන්ගෙනි

13 July 2026


මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධීන් සමග හිරගෙවල්වල තත්ත්වය ගැන යළිත් කතාබහක් ඇතිවී තිබේ.⁣ එසේ සාකච්ඡා වන එක කාරණයක් වන්නේ බන්ධනාගාරවල ඇති තදබදයයි. රටේ තිබෙන සියලු හිරගෙවල් ගත්තද ඒ සියල්ල ප්‍රමාණවත් වන්නේ සිරකරුවන් 11,000 කට පමණ යැයි ගණන් බලා තිබේ. එහෙත් අද වන විට බන්ධනාගාරවල සිටින රැඳවූවන් ගණන 42,000 කට වැඩි බව දත්තවලින් හෙළිදරව් වේ. එහිලා විශේෂ කාරණය වන්නේ ඉන් සියයට 73ක්ම රිමාන්ඩ් සිරකරුවන් වීමය. ඔවුන් තවමත් චූදිතයන් මිස වැරදිකරුවන් නොවේ.


අධිකරණ පරිපාටියේදී නඩුවක සැකකරුවකු ඇප මත නිදහස් කිරීම රීතිය හැටියට සලකනු ලබයි. රිමාන්ඩ් කිරීම ව්‍යතිරේකයයි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරන්නේ රිමාන්ඩ් කිරීම රීතිය හැටියට සලකා බව නඩු විභාගවලදී පැහැදිලිව පෙනී යයි. නඩුවට අදාළ විමර්ශන අවසන් නැති නිසා සැකකරුට ඇප ලබානොදෙන ලෙස ඉල්ලා සිටීම පොලිසියේ හුරුපුරුදු ක්‍රියා මාර්ගය වී තිබේ. වහාම අත්අඩංගුවට ගත යුතු දරුණු අපරාධකරුවකු සම්බන්ධයෙන් නොවෙතොත් කෙනකු අත්අඩංගුවට ගත යුත්තේ ⁣විමර්ශන අවසාන කිරීමෙන් පසුවය. එහෙත් දැන් දැන් සිද්ධ වෙන්නේ පළමුව අත්අඩංගුවට ගෙන දෙවනුව විමර්ශන ආරම්භ කිරීමය.


සැකකරු ⁣විපක්ෂයට සම්බන්ධ පුද්ගලයකු නම් කාරණා කටයුතු සිද්ද වෙන්නේ ඒ රටාවටමය. මන්ද අපේ රටේ සති කිහිපයකට කෙනකු රිමාන්ඩ් කිරී⁣ම ඔහුට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් ලබාදීමට සමාන වන හෙයිනි. එකට හතරක අනුපාතයක රැඳවූවන් සිටින බන්ධනාගාරවල සිරකරුවකුට නිදාගැනීම හා ශරීර කෘත්‍යය කිරීම වැනි මූලික අවශ්‍යතාවයන් සඳහාද පෝලිමේ සිටීමට සිදුවන තත්ත්වයක් යටතේ රිමාන්ඩ් කරනු ලැබීම ගැන කියන්නට අනෙකක් නැත. වරක් අධිකරණ ශාලාව තුළ ජංගම දුරකථනයක් නාදවීම කරණ කොට සති දෙකක් බන්ධනාගාරගත කරනු ලැබූවකු එහිදී සිරකරුවන්ගෙන් පහර කා මියයෑම වාර්තා වී වැඩි කාලයක් නැත. බන්ධනාගාරවල එබඳු තත්ත්වයක් පවතිද්දී හැකි සෑම චූදිතයකුටම ඇප ලබා දිය යුතු වුවත් පොලිසිය පැමිණිලි ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය.


විපක්ෂ දේශපාලනඥයන් හා ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන් මෙයාකාරයෙන් රිමාන්ඩ් කරනු ලැබූ විට ආණ්ඩුවේ වගකිවයුතු තානාන්තර දරන්නෝ පාර්ලිමේන්තුවේදී එහි ඇති නිදහස අවභාවිතා කරමින් ඔවුන්ට අපහාස කරති. ඒ අතරේ ආණ්ඩුවේ ෆේස්බුක් බලකාය එහිදී නඩුව විභාග කර දඬුවම්ද නියම කිරීම සිදුවෙයි. ඒ තත්ත්වය යටතේ පොලිසියට තමන්ගේ චෝදනා ඔප්පු කිරීම සඳහා බොරු සාක්ෂි නිෂ්පාදනය කිරීමට සිදුවීම ස්වාභාවිකය. පොලිසිය විසින් මෙසේ නිර්මාණය කරන ලද සාක්ෂි අධිකරණය ඉදිරියේ හෙළිදරව් වී ඇත්තේ ඉඳහිට නොවේ.


2021 අවුරුද්දේ 22,000ක් පමණ වූ බන්ධනාගාර රැඳවූවන් සංඛ්‍යාව 2023 වන විට 30,000ද ඉක්ම වූයේය. ඊට බලපෑවේ 2022 දී සම්මත කරන ලද විෂ, අබිං හා අනතුරුදායක මත්ද්‍රව්‍ය (සංශෝධන) පනතයි. ඉන්පසු එතෙක් මත්ද්‍රව්‍ය වැරැදි සඳහා ඇප ලබාදීමට පහළ උසාවිවලට තිබූ බලය අහිමි වී ගිය අතර ඒ සඳහා අභියාචනාධිකරණයට යායුතු විය. දීර්ඝ අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් මෙහිදී ඇප ලබාගැනීම සඳහා අවුරුදු තුනහතරක් ගතවන අතර ඇතැම් විටෙක ඊටත් වඩා දීර්ඝ වීමටද ඉඩ තිබෙන බව කියනු ලැබේ. 2022 දී ඉහත කී පනත සම්මත කෙරෙන විට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම අපරාධයක් නොව රෝගී තත්ත්වයක් හැටියට සලකා ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රටේ දැඩි ලෙස සාකච්ඡා වෙමින් තිබුණේය. එහෙත් මේ පනත සම්මත වීමෙන් පසුව ඒ සාකච්ඡා එහෙම පිටින් යට ගියේය.


2023 විගණකාධිපති වාර්තාව මේ පිළිබඳ විග්‍රහ කරමින් අදාළ පනතේ 54 වැනි වගන්තිය යටතේ නොව 78 වැනි වගන්තිය යටතේ මත්ද්‍රව්‍ය නඩු පැවරිය යුතු බව පෙන්වා දුන්නේ මෙලෙසින් විශාල පිරිසක් රිමාන්ඩ් වී බන්ධනාගාර තදබදය වැඩිවීම වළක්වා ගැනීමේ පිළියමක් හැටියටය. තවද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ තැනැත්තා සතුව තිබුණු ද්‍රව්‍යය කුමක්දැයි පරීක්ෂා කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවනු ලැබූ කල සිදුවන ප්‍රමාදයන් නිසාද සැකකරු රිමාන්ඩ් භාරයේ ගතවන කාලය දිගු වෙයි. මෑතකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරම ප්‍රකාශ කර තිබුණේ සැකකරු ළඟ තිබුණේ හෙරොයින්ද නැත්නම් කුඩු කරන ලද පැනඩෝල්දැයි නිගමනය කිරීමටද අවුරුද්දත් අවුරුදු එකහමාරත් අතර කාලයක් ගතවන බවයි.


දැන් ආණ්ඩුව කියා සිටින්නේ තමන් මේ නීතිරීති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවය. එහෙත් හිරගෙවල්වල විශාල තදබදය ඇතිවූයේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2025 ඔක්තෝබරයේදී කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පසුවය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදැල්ලේ පසුවෙද්දී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනක් එහිදී අත්අඩංගුවට පත්විය. එහෙත් දැන් ආණ්ඩුව ලිහිල් කරන්නට යන අණපනත් ක්‍රියාත්මක කිරීමෙන් පසුව 2025 වැටලීම් සිදුකළේ නම් දැනට ඇතිවී තිබෙන බන්ධනාගාර තදබදය මීට වඩා අඩුවනු නිසැකය. එසේනම් මීගමු බන්ධනාගාර සිද්ධිය වැනි දේවල් නොවෙන්නටද ඉඩ තිබුණේය.

 

More News..