මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්
24 March 2026
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්
24 March 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
එම සංවාදයේදී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බව නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇත.
එහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිව ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී දෙරටේ නායකයින් සමාලෝචනය කළ බව සඳහන්ය.
එමෙන්ම, කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර ඇත.
අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම යළි තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

