brand logo
logo
රනිල් කියන ආර්ථීක අර්බුදය 2029 එයිද?

රනිල් කියන ආර්ථීක අර්බුදය 2029 එයිද?

27 August 2026 | සංජය නල්ලපෙරුම

2028 වසර වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහළොවක් දක්වා ඉහළ නංවාගත යුතු බව රනිල් වික්‍රමසිංහ පැවැසුවේ වර්තමානය වනවිට පවතින ඇමරිකානු ඩොලර් බිලියන හයයි, දශම පහක විදේශ සංචිත ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි. මේ වසර අවසන් වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන අට දක්වා ඉහළ නංවාගන්නා බවට මහ බැංකු අධිපතිවරයා ලබාදී ඇති සහතිකය පිළිබඳව ද අවධානය යොමු කළ හිටපු ජනාධිපතිවරයා ඉදිරි වසර දෙකක කාලය තුළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතකින් ඉහළ නංවාගැනීමට ආණ්ඩුවට තිබෙන සැලසුම කුමක්දැයි ප්‍රශ්න කළේය.


රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 2028 දී මෙම ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදුවන බවය. එම ආර්ථික අර්බුදය ජයගැනීමට නොහැකි වුවහොත් රට නැවත බංකොළොත්භාවයට පත්වීමේ අවදානමත් රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය. එහෙත් එයට ප්‍රතිචාර දැක්වූ ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසුවේ එවැනි ආර්ථික අර්බුදයක් ඉස්මතු නොවන බවයි.


ආර්ථිකයේ සැබෑ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කළ හොත් රනිල් වික්‍රමසිංහගේ අනතුරු ඇඟවීම පදනම් වී ඇත්තේ සරල, නමුත් බරපතළ යථාර්ථයක් මතය. 2028 වසර අවසන් වන විට බැඳුම්කර හිමියන්ට විදේශ ණය නැවත ගෙවිය යුතුය. ඒ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහළොව දක්වා ඉහළට නැංවිය යුතු අතර, එය ඉහළට නංවන්නේ කෙසේද යන අභියෝගය මේ වන විට රට හමුවේ පවතී. මෑත කාලීන අත්දැකීම් දෙස බලන විට, ඩොලර් බිලියන පහළොවක ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා වන ඩොලර් සංචිත සොයා ගැනීමට හැකිය යන්න කෙරෙහි එතරම් විශ්වාසයක් තැබිය නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ණය දෙන ආයතනවලින් විදේශ ණය පසුගිය කාලයේදී ලැබුණත් මේ වන විටත් විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා වර්ධනය කර ගැනීමට නොහැකි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද විස්තීර්ණ ණය පහසුකම 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර ඒ හමුවේ මෙය තවත් අභියෝගාත්මක ඉසව්වක් වෙත රැගෙන යන්නේය. ජාත්‍යන්තර විස්තීර්ණ ණය පහසුකම අවසන්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අඛණ්ඩව විදේශ විනිමය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව බලන විට ඉදිරි වසර කිහිපය ලංකාවේ ආර්ථිකයට අතිශය තීරණාත්මක කාලයක් උදාවනු ඇත.


වෙළෙඳ හිඟයත් නරක අතට

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු නොතකා හරිමින් මේ වන විට ගමන් කරමින් සිටින්නේ නව ලිබරල් වළෛඳපොළ ආර්ථික ගමන් මාර්ගයේය. රටේ පවතින ව්‍යුහාත්මක ආර්ථික ගැටලු විසඳීමට මෙම ආකෘතියට හැකියාවක් තිබේද යන්න බරපතළ ගැටලුවකි.

මේ වසරේ පළමු මාස හය තුළදී වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා පුළුල් වී තිබේ. තවමත් අපනයනවලට වඩා ආනයනය ඉහළ මට්මටක පවතී. බාහිර වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් අපනයන මූලික ආර්ථිකය, රටේ ආර්ථික ගැටලු විසඳනු ඇති බව අපේක්ෂා කළත් තවමත් එය පොරොන්දුවකට පමණක් සීමා වී තිබේ. ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ අපනයන පරිවර්තනය තවමත් යථාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකිවී තිබේ.


බදු සහ වෙනත් විවිධ වරප්‍රසාද බුක්ති විඳින ලංකාවේ වරප්‍රසාද ලත් ධනපති පන්තිය රටේ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට අපොහොසත් වී තිබේ. ඒ වෙනුවට ඩොලර් බිලියන ගණනක් රටින් පිටට ගලා යමින් තිබේ. නව ලිබරල් ආර්ථික ආකෘතියට සම්බන්ධ සීමිත ප්‍රාග්ධන හා වෙළෙඳ පාලනයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ඔවුහු දේශීය ආර්ථිකයෙන් බැහැරව සිටිති.

දේශීය ධනපති පන්තිය කාර්මික නිෂ්පාදනය හෝ අපනයනය කේන්ද්‍ර කරගත් නිෂ්පාදනය පුළුල් කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, පොරොන්දු වූ ඊනියා බාහිර වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ආර්ථික පරිවර්තනයක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත.


සාම්ප්‍රදායික නව සම්භාව්‍ය ආර්ථික න්‍යායේ මූලික උපකල්පනයක් වන්නේ මුදල් ඒකකයේ අගය පහළ යාම හරහා වෙළෙඳ හිඟය අවසානයේ ස්වයංක්‍රීයව නිවරැදි වනු ඇති බවයි. එම තර්කය සලරය. රටක් අපනයනය කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආනයනය කරන විට එහි මුදල් ඒකකය දුර්වල විය යුතුය. දුර්වල මුදල් ඒකකයක් ආනයන මිල අධික කරන අතර අපනයනය වඩාත් තරගකාරී කරයි. එබැවින් ආනයනය අඩුවී අපනයන ඉහළ ගොස් අවසානයේ වෙළෙඳ හිඟය නිවරැදි විය යුතුය.


එහෙත් ලංකාවේ අත්දැකීම් කියන්නේ මෙම න්‍යායට පටහැනි කතාවකි. රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වී තිබුණද දිගුකාලීනව වෙළෙඳ හිඟය අතුරුදන්වී නොමැත. මෙය වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු කරයි. ව්‍යූහාත්මක වෙළෙඳ අසමතුලිතාවයක් නිවැරදි කිරීමට මුදල් ඒකකයේ අවප්‍රමාණය වීම පමණක් ප්‍රමාණවත් වන්නේද යන ප්‍රශ්නය ආර්ථිකය හමුවේ පවතී.


ආර්ථිකයේ බොහෝ අංශවල දේශීය නිෂ්පාදනය තවමත් ප්‍රමාණවත් නොවන නිසා රටට ආනයන මත දැඩි ලෙස රඳා පැවැතීමට සිදුව ඇත. මුදල් ඒකකයේ අගය පහළ වැටීමෙන් පමණක් කර්මාන්තශාලා බිහි කළ නොහැකිය. කර්මාන්ත සංවර්ධනය කළ නොහැකිය. තරගකාරී අපනයන නිෂ්පාදනය කළ නොහැකිය.


විදේශ ශ්‍රමිකයන්ගෙන් ගොඩ යන්න බෑ

විදේශ විනිමය ඉපයීම සදහා ධනපති පන්තියෙන් අපේක්ෂිත දායකත්වය නොලැබෙන තත්ත්වය හමුවේ විදේශ ගත ශ්‍රමිකයෝ ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය උපයාදීමට දායකත්වය ලබාදෙමින් සිටිති. මේ වසරේ පළමු මාස හය තුළදී විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 4.6කට වඩා වැඩි මුදලක් රටට ලැබී තිබේ. රටේ ආර්ථිකය සක්‍රිය මට්ටමේ පවත්වාගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමයෙන් සැලකිය යුතු කොටසක් විදේශ ගත ශ්‍රමිකයන් හරහා ලැබෙමින් තිබේ.


එහෙත් ඔවුන්ගේ දායකත්වයට ප්‍රමාණවත් පිළිගැනීමක් හෝ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සාමාන්‍ය ජනතාව තවදුරටත් ඉහළ බදු සහ ජීවන වියදම්වලට මුහුණ දෙමින් සිටිති. පවුල් මුහුණ දෙන මූල්‍ය පීඩනයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පවා නිදහස් වී නැත.


ධනපති පන්තියේ ඇතැම් කොටස් බදු සහන සහ වෙනත් වරප්‍රසාද බුක්ති විඳිති. නමුත් විදේශ රටවල සිට තම ශ්‍රමය හරහා ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් උපයන සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව ලැබෙන්නේ ඉතා සුළු පිළිගැනීමක් හෝ සහනයකි. මේ අතර රජයේ අයවැය කප්පාදුව සහ ඉහළ බදු හේතුවෙන් සමාජ සුබසාධනය තවදුරටත් දුර්වල වෙමින් පවතී.


විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ උත්කර්ෂයට ලක් කරමින් සෑම විටම එය ඉදිරිපත් කරයි. එහෙත් එම සෑම ඩොලරයක් පිටු පසම සමාජ පිරිවැයක් තිබේ. විදේශ ගත ශ්‍රමිකයන් තමන්ගේ පවුල් අත හැර විදේශ ගත වන අතර ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ වගකීම පවුලේ වෙනත් ඥාතීන්ට පැවරී ඇත. එම නිසා ප්‍රේෂණ උත්කර්ෂයට ලක් කිරීම කාසියේ එක් පැත්තක් පමණක් පෙන්වීමකි.


අනෙක් අතට ලංකාව වයස් ගත ජනගහනය වැඩි වීමේ අභියෝගයට ද මුහුණ දෙමින් සිටී. රටේ දක්ෂ සහ ඵලදායී ශ්‍රම බලකායෙන් කොටසක් විදේශ රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යොමු කිරීම අනාගතය සඳහා වන යහපත් සංවර්ධන උපායමාර්ගයක් නම් නොවේ. එහෙත් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකුවේ නිලධාරීන් මූලික අවධානය යොමු කරන්නේ ක්ෂණිකව ඩොලර් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය කෙරෙහිය. විදේශ ගත ශ්‍රමිකයන් හරහා ක්ෂණික ඩොලර් ප්‍රවාහයක් අවශ්‍ය වී ඇත්තේ ඉන්ධන, ගෑස්, ගල් අඟුරු වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා ඩොලර් අත්‍යවශ්‍ය නිසාය.


විදේශ සංචිත ගොඩනැංවීමේ සැලසුම කුමක්ද?

රටේ ආර්ථිකය අනාගතයේදී මුහුණ දෙන අභියෝගය වන්නේ විදේශ සංචිත ගොඩ නැංවීමේ අභියෝගයයි. මේ වන විට පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ විදේශ සංචිත ගොඩනැගීම සඳහා පැහැදිලි උපාය මාර්ගයක් නොමැති බවයි. කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය පුළුල් කිරීම සඳහා විශ්වාසදායක සහ දිගු කාලීන සංවර්ධන සැලසුමක් රජය ඉදිරිපත් කර නැත. දැනටමත් රජයේ පාලනය යටතේ පවතින කර්මාන්ත පවා බරපතළ ගැටලුවලට මුහුණදෙමින් සිටී. උදාහරණයක් ලෙස රාජ්‍ය පාලනය යටතේ පවතින සෙවණගල සීනි සංස්ථාව තවදුරටත් පාඩු ලබමින් පවතී. කෘෂි කර්මාන්තයේ තත්ත්වයද ඊට වඩා වෙනස් නැත. දේශීය කෘෂි අස්වනු නෙළන කාලවලදී පවා රටට කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරමින් සිටී.

මේ අතරම ප්‍රමාණවත් මිලක් නොලැබීම පිළිබඳ ගොවීහු විරෝධතා පවත්වමින්, තම අස්වනු නියමිත වේලාවේදී මිලදී ගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටිති. දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම වෙනුවට රට තවදුරටත් ආනයන මත රඳා පවතී. එවැනි රටක විදේශ විනිමය ඉහළ නැංවිය නොහැකිය. කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මික ව්‍යාපාර මුහුණ දෙන තත්ත්වයද මේ හා සමාන කනගාටුදායක තත්ත්වයක පවතී. බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉහළ යන බලශක්ති පිරිවැය, ආනයනික අතරමැදි භාණ්ඩ, ඉහළ පොලී අනුපාතය දැනටමත් ලැබෙන සීමිත ලාභ ආන්තිකය තවදුරටත් අඩු කරමින් සිටී.

ඒ සමගම දේශීය ආර්ථිකයේ දුර්වල ඉල්ලුම හේතුවෙන් ව්‍යාපාරවල පැවැත්ම සහ ව්‍යාප්තිය තවදුරටත් අපහසුවී තිබේ. මෙය තාවකාලික ව්‍යාපාරික ගැටලුවකට වඩා වැඩි දෙයකි. දුර්වල කුඩා හා මධ්‍ය පරිමාණ අංශයක් යනු ආර්ථිකයේ බොහෝ අංශවල ක්‍රියාකාරීත්වය දුර්වල කරන්නකි. එය අඩු දේශීය නිෂ්පාදනයක්, අඩු රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වීමක්, අපනයන දුර්වලවී ආනයනය මත යැපීමට සිදුවන තත්ත්වයක් ඇති කිරීමකි.


ආර්ථිකයේ පවතින මෙම තත්ත්වය දෙස බැලූ විට ඉදිරියේ පවතින අනතුරුදායක ස්වභාවය කුඩා ළමයකුට පවා තේරුම් ගත හැකිය. මේ පිළිබඳව තිබෙන අනතුරු ඇඟවීම් හමුවේ ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමක් නොමැති බව රජය විශ්වාසයෙන් යුතුව පවසයි. එහෙත් ණය ගෙවීම සඳහා තිබෙන සැලසුම කුමක්දැයි යන්න පැහැදිලි කරන්නේ නැත.


රටේ තිබෙන විරැකියාවට විසඳුම් ලබා ගන්නේ විදේශ රැකියා අවස්ථා විවෘත කර ගනිමිනි. එසේ විදේශ රැකියා සඳහා යවන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් හිඟය පියවා ගැනීමට භාවිත කරයි. මෙය එදිනෙදා ආර්ථිකයේ පැවැත්මට වැදගත් යාන්ත්‍රණයකි. එහෙත් එය ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් නොවේ. සැබවින්ම එය යැපීමකි. ශ්‍රම බලකායේ සක්‍රිය කොටසක් අඛණ්ඩව විදේශ ගත කර, ඔවුන් එවන ප්‍රේෂණ මගින් ආනයන සඳහා මුදල් සොයා ගැනීමෙන් තිරසර ආර්ථිකයක් ගොඩ නගාගත නොහැකිය.

රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නිෂ්පාදන කළ යුතුය. නිෂ්පාදන අතිරික්තය අපනයනය කළ යුතුය. කර්මාන්ත සංවර්ධනය කළ යුතුය. කෘෂි කාර්මික අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවිය යුතුය. රට තමන්ගේම නිෂ්පාදන ධාරිතාවය හරහා විදේශ විනිමය උපයාගත යුතුය.


නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට

ලංකාව නැවත වරක් බංකොළොත්භාවයට නොගොස්, ණය පැහැර හරින රටක් බවට පත් නොවීම සඳහා තවත් කාලය තිබේ. එහිදී 2029 වසර අතිශය තීරණාත්මක වසරක් බවට පත්විය හැකිය. ඒ අනුව ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීමට සිදුවිය හැකිය. නැති නම් විකල්ප මූලාශ්‍රවලින් තවත් විදේශ ණය වටයක් ලබාගැනීමට සිදු වනු ඇත.එසේ වුවහොත් ලංකාව නැවත වරක් විදේශ ණය උගුලේ හිරවනු ඇත. නැවත වරක් ණය උගුලේ ගැඹුරටම ගොස් විෂම චක්‍රයක් නැවත නිර්මාණය වනු ඇත.


ඒ අනුව තවත් ණය ගැනීමට සිදුවේ. ඒ අතරම ණය කප්පාදුවකට යාමටද සිදුවේ. එම අර්බුදය හමුවේ අය වැය කප්පාදුවකට මෙන්ම ජනතාව මත තවත් බදු පැනවීමටද සිදුවේ. එය සාමාන්‍ය ජනතාව මත දැනටමත් එල්ලවී ඇති පීඩනය දෙගුණ තෙගුණ කරනු ඇත. ඒ අතරම රාජ්‍ය සහ පොදු සේවා වත්කම් තවදුරටත් විකුණා දැමීමට සිදුවනු ඇත.


ඒ අනුව බලන විට අද සිට 2029 වසර වන විට විදේශ සංචිත තවත් ඩොලර් බිලියන 8.5කින් ඉහළ නංවාගන්නේ කෙසේද යන්න මූලිකම ප්‍රශ්නය බවට පත්වනු ඇත. එම ඉලක්කයට ගමන් කිරීම සඳහා විදේශ විනිමය උපයන ආකාරය කෙසේ වෙනස් කරන්නේද යන්නත් තවත් බරපතළ ගැටලුවක් බවට පත් කරනු ඇත. මේ සඳහා ආණ්ඩුවට පැහැදිලි වැඩසටහනක් තිබේද? යන ප්‍රශ්නයට තිබෙන පිළිතුර නැත, යන්න නම්, 2029 යනු ආර්ථික දින දර්ශනයේ තවත් එක් වසරක් පමණක් නොවනු ඇත. එය ලංකාවේ ණය අර්බුදයේ තවත් එක් භයානයක පරිච්ඡේදයක ආරම්භයක් වනු ඇත.

 

More News..