brand logo
logo
22ට එරෙහිව NPP විධායක කමිටු සාමාජික ලාල් විජේනායකගෙන් පෙත්සමක්

22ට එරෙහිව NPP විධායක කමිටු සාමාජික ලාල් විජේනායකගෙන් පෙත්සමක්

30 August 2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.


අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක මහතා පවසන්නේ, 22 වන සංශෝධනයට විරුද්ධ සටන හුදෙක් ආණ්ඩුව හා විපක්ෂය අතර සටනක් ලෙස ගෙන හැර දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වූ මෙම සටන ශිෂ්ටසම්පන්න සමාජයක, ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සටනක් බව ඔහු එමගින් පෙන්වා දී ඇත.

"ජනතාව ඉදිරියේ ඇති විකල්පය වන්නේ පක්ෂයක් ආරක්ෂා කරන්නේ ද යන්න නොව, දීර්ඝ කාලීන ඉමහත් කැපවීමකින් සටන් කර ජනතාව දිනාගත්, ශිෂ්ටසම්පන්න සමාජයක ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය මතු පරම්පරාවට ඉතිරි කරන්නේද නැද්ද යන්න බව" එම නිවේදනයේ සඳහන්.

මේ අතර ලාල් විජේනායක මහතා කැඳවුම්කරුවෙකු සහ ආරම්භක සාමාජිකයෙකු වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයෙන්ද පෙත්සමක් ගොනු කර ඇත.


22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එමගින් ද ඉල්ලා තිබේ.


22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්වීමට නියමිතය.

 

More News..