brand logo
logo
 විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් අඹුසැමි යුවළක් මරුට

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් අඹුසැමි යුවළක් මරුට

03 November 2026


නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැඳී සිටි අඹුසැමි යුවලක් අද (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත්, එම සංචාරක හෝටලය ඉදිකරන තෙක් ඒ අසලම තාවකාලිකව කුලී පදනම මත නිවසක් ලබා ගෙන එහි රැඳී සිට ඇති බවත්ය.


නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික සීතලත් සමඟ බාබකිව් (BBQ) උදුණක් දල්වා එය කාමරයේ තබා ගනිමින් මෙම යුවළ නින්දට ගොස් ඇති බව අනාවරණය වී ඇත.


අද අලුයම ඔවුන්ගේ දුරකථනවලට ඥාතීන් ඇමතුම් ලබා ගෙන ඇතත්, එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඥාතීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට ඒ බව දැනුම් දීමෙන් පසු ඔහු නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී අඹුසැමි යුවළ මිය ගොස් ඇති බවට සැලවීමත් සමග ග්‍රාම සේවා නිලධාරිවරයා විසින් ඒ බව නානුඔය පොලීසිය වෙත දැනුම් දී ඇත.


මියගිය පිරිමි පුද්ගලයා නැවක කපිතාන්වරයෙකු බවත්, ඔහු 52 හැවිරිදි වියේ සහ ඔහුගේ බිරිඳ 46 හැවිරිදි වියේ පසුවන බව නානුඔය පොලීසිය පැවසීය.

 

More News..