brand logo
logo
දුරකථන රැහැන් කපා තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දුරකථන රැහැන් කපා තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

24 August 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය


නුවරඑළිය නාගරික සීමාව තුළ දුරකථන සම්බන්ධතා රැහැන් කපා ඒවායේ ඇති තඹ කම්බි ඉවත් කර සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


නුවරඑළිය ඉහළ වැව පාර සහ සඳතැන්න ඇතුළු ප්‍රදේශවල පසුගිය මාස පහකට ආසන්න කාලයක් තුළ දුරකථන සම්බන්ධතා රැහැන් කපා තඹ කම්බි සොරකම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා පහකදී පොලිසියට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රැහැන්වලින් ඉවත් කරන ලද බවට සැක කෙරෙන තඹ කම්බි කිලෝග්‍රෑම් තුනක්, තඹ නොවන කම්බි අඩි 344ක්, තඹ කම්බි ඉවත් කර තිබූ රබර් ආවරණ තොගයක් සහ කම්බි කැපීම සඳහා විශේෂයෙන් සකස් කළ බවට සැක කෙරෙන පිහි දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳපොළ ප්‍රදේශයේ පදිංචි පලනි අප්පන් තංගරාජ් (40) සහ හාලිඇල ප්‍රදේශයේ සිට දෛනික කුලී වැඩ සඳහා නුවරඑළියට පැමිණ හාවාඑළිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි රාමනාදන් මාදවන් (30) යන දෙදෙනා බව පොලිසිය සඳහන් කරයි.


විදුලි සංදේශ ආයතනයකට අයත් සම්බන්ධතා රැහැන් කපා තඹ කම්බි ඉවත් කිරීම හුදෙක් දේපළ සොරකමකට පමණක් සීමා නොවන අතර, එමගින් මහජන සන්නිවේදන සේවා බිඳවැටීම, ආයතනයට අලාභ සිදුවීම සහ පොදු ජනතාවට අපහසුතා ඇතිවීමේ තත්ත්වයක්ද මතුවිය හැකි බව නීතිමය වශයෙන් සැලකිය යුතු කරුණකි.



එමෙන්ම, මෙම සිද්ධියේදී සොරකම් කළ බවට සැක කෙරෙන තඹ කම්බි සහ අනෙකුත් ද්‍රව්‍යවල වටිනාකම, ඒවා කපා ඉවත් කිරීමෙන් අදාළ ආයතනයට සිදුවූ අලාභය සහ සන්නිවේදන සේවාවන්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශනවලදී අවධානය යොමු කිරීමට නියමිතය.


අත්අඩංගුවට ගත් තඹ සහ තඹ නොවන කම්බිවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, අධිකරණයට නඩු භාණ්ඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවායේ වටිනාකම තක්සේරු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.


මෙම වැටලීම නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (01) චන්දන බස්නායක මහතාගේ සහ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව මහතාගේ උපදෙස් මත සිදුකර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද 24 වැනිදා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන අගෝස්තු 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මිය නියෝග කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..