මී හරකා කිපෙන දවස
20 September 2026
මී හරකා කිපෙන දවස
20 September 2026
ඥානාර්ථ ප්‍රදීපය පත්තරයේ 1877 පෙබරවාරි 14 වැනිදා කතුවැකිය ලියා තිබුණේ දිළින්දෝ හිසිනි.
‘‘මව් පියන් විසින් තම දරුවන් ආරක්ෂා කරගන්නාක් මෙන්ද, ගුරුවරු විසින් තම ගෝලයන් හරි මාර්ගයේ ගෙනයන්නාක් මෙන්ද, එඬෙරුන් විසින් තම රැල සිංහ ව්‍යාඝ්‍රයන්ගෙන් ආරක්ෂා කරගන්නාක් මෙන්ද, ආණ්ඩුව විසින්ද තමන් වැසියන්ගේ ඕනෑ එපාකම් පරීක්ෂා කර බලා වැසියන් පෙළෙන්නා වූ යමක් ඇති තැන ඒ හරිගස්සාලීමත් එමෙන්ම සුදුසු වන්නේය. මේ වනාහී ධර්මිෂ්ට රජුන්ගේ සිරිතක්මයි. දැනට පවතින හාල් ගණන ගැන කල්පනාකර බැලූ කලැ දුප්පත් වැසියන්ට අරගන කන්නට බැරි තරම්ය. පවුලේ 5 දෙනෙක් ඇති දිළිඳු කුලීකාරයෙක් දවසට පැන්ස 9 ක් සම්භ කළාම දැන් හාල් ගණනේ හැටියට කටේ ගෑවෙන්නටවත් මදි. වේලට නැලිය බැගින් ඉව්වත් නැලියක් පළම් තුන වුණාම හාල්වලට පැන්ස 9 කම්මුතුයි. අනිත් තුනපහේ ගන්නේ කෙසේද? බදු ගෙවන්නේ කෙසේද? කොහෙත්ම සම්බ නොකරන පවුල් කොපමණ ඉන්නවාද?’’
මේ කියන කාලයේ ජීවන වියදම කියන වචනයවත් පාවිච්චියට ඇවිත් තිබුණේ නැත. මිල කියන වචනයවත් නොතිබූ ඒ කාලයේ කිව්වේ හාල් සේරුවක ගණන පොලයක ගණන ආදී වශයෙනි. බඩු ගණන් ගියේ කලකෝලාහල, දුර්භීක්ෂ, වසංගත ආදී සමයන්හිය. ඒද ඉතා සුළු වශයෙනි. ලක්වැසියා බත් කන්නට පටන් අරන් වසර දහස් ගණනක් ගතව තිබුණත් 1953 දීත් හාල් සේරුව ශත විසිපහය. ඒ හාල් සේරුව ශත හැත්තෑපහට වැඩි කළ විට ඩඩ්ලිගේ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට සිදුවූයේය. එය ඉතිහාසයේ නොවූ තරමේ බඩු වැඩිවීමක් නිසා ඊට එරෙහිව ජනතාව හර්තාල් කළ නිසාය.
1953 දී හාල් සේරුව ශත හැත්තෑපහට වැඩි කළ මුදල් ඇමැති ජේ.ආර්. 1977 රාජ්‍ය නායකයා වී විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ශත ගණනින් ඉහළ යමින් තිබූ බඩු රුපියල් ගණනින් ඉහළ යන්නට විය. හැත්තෑහතට පසු මාසයක් ගානේ බඩු ගණන් ඉහළ යාම ලෝක ධර්මතාවක් බව ලක්වැසියාට තේරුම් ගන්නට සිදුවිය. රුපියලට පාන් රාත්තලක් මිල ඉහළ නැංග දා එය ආණ්ඩුව විවේචනය කරන්නට ලක්වාසීන්ට හොඳ මාතෘකාවක් විය. එක්සත් ජාතික පක්ෂයේ හඳුන්වා දුන් විවෘත ආර්ථිකය අනුව බඩු මිල ඉහළ යෑම වෙසෙස් තැනක් ගත්තෙන් රුපියල් තුනයි පනහට පාන් රාත්තල දෙන බව කියූ චන්ද්‍රිකා 1994 දී බලයට ආවාය.
ලංකාවේ ආර්ථික පුරුදු උඩු යටිකුරු වූයේ කොරෝනා රෝගය පැමිණීමත් සමගය. රුපියල් 920 ට තිබුණ සිමෙන්ති කොට්ටය වසරක් තුළ රුපියල් 3800 වී අහසට බැඳි පලංචියේ උසම පෙත්තේ නතර විය. රුපියල් දහයට තිබුණ ආප්පය රුපියල් සියයක් විය. 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් රට පැරකුම්බා යුගයකට, ස්වර්ණමය යුගයකට ගෙන යනවාට වඩා පොරොන්දු වූයේ 2019 තිබූ තත්ත්වයට ගෙන යන බවය. එතෙක් ලක්වැසියන්ගේ අතීත කාමය බැඳී ඇත්තේ පරාක්‍රමබාහුලා, විජයබාහුලා ජීවත් වූ රජ කාලය සමගය. එහෙත් දැන් අවුරුදු දහයකටත් අඩු අතීතයද ස්වර්ණමය යැයි සිතෙන්නේ මේ උග්‍ර ලෙස බඩුමිල ඉහළ යාම නිසාය. දැන් අතීත කාමය තියෙන්නේ 2019 යේය.
බඩු ගණන් යාම ගැන ලියැවුණ ඥානාර්ථ ප්‍රදීප පත්තරයේ 1877 දීත් විශ්වාස කළේ මව්පියන් දරුවන් රක්ෂා කරන්නාක් සේ ආණ්ඩුවද වැසියන් පෙළෙන්නා වූ යමක් ඇති තැන හරිගස්සාලීම යුතු බවය. එහෙත් මේ රටේ ආණ්ඩුවලට වඩා ජනතාවගේ නැතිබැරියාව තේරුම් අරන් වැඩ කරන්නේ සමාගම් සහ වෙළෙන්දෝය.
සුපිරි වෙළෙඳසල් ආරම්භ කළ සමයේ ඒවායින් බඩු ගන්නට බැරි යැයි පොදු ජනතාව සිතූවේ පොළෙන් ගන්නවා වාගේ ග්‍රෑම් දෙසීය පනහ, පන්සිය කිරා සුළුවට ගන්නට සුපිරි වෙළෙඳසලේ අවසර නැතැයි විශ්වාස කළ නිසාය. ඒ නිසාම සුප්‍රකට නළුවකුට සරමක් අන්දවා පාපැදියක නංවා ගෙදර යන ගමන් සුපර් මාකට් එකකට ගොඩ වී බඩු මල්ලක් අරගෙන යන වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරවා මේවා විවෘත කළේ පොදු ජනතාවට යයි හැඟීමක් ඇති කරන්නට සිදුවිය. අද එදා පොදු ජනතාව ගිය පොළට යන්නේ ඉහළ ආදායම් ලබන පාරිභෝගිකයන්ය. මක්නිසාද යත් තවමත් පොළේ යන අයට බඩු ගන්නට වෙන්නේ කිලෝ ගණනිනි. ග්‍රෑම් පන්සියය, දෙසීය පනහ ගණනිනි. එහෙත් සුපර් මාර්කට්ටුවට ගිය විට අතේ ඇති හැටියට කැරට් අල දෙකක්, බෝංචි කරල් හත අටක්, ගස්ලබු පළුවෙන් භාගයක් වුව ගන්නට පුළුවන. පොදු ජනතාව බඩුගත් පොළට වඩා සුපර් මාර්කට්ටුව අතේ ඇති සුළු මුදලටත් බඩු ගන්නට පුළුවන් තැනකට බාල කළ සැටි විමසා බලන්නකුට එදා සිට මැද පන්තිය පහළම මට්ටමේ පරිභෝජනයක් සහිත ජනතාවක් වූ සැටි තේරුම්ගත හැකිය.
කිලෝවේ කරිපිටි පැකට්ටුව අන්තිමේ ග්‍රෑම් සියයේ පැකට්ටුවටත් බස්සවා දැන් තේ කෝප්පයකට සරිලන තරමට හීං කරවා වෙළෙඳපොළට එවා ඇත්තේය. අල ගෙඩි දෙකක්, දෙහි ගෙඩියක්, මිරිස් කරල් කීපයක්, පොල් බෑයක් ආදිය එක මල්ලකට දමා රුපියල් තුන්හාරසියයක මිලට වේලක් ගතකරගන්නට සරිලන විදියට හදා විකුණන්නට වෙළෙන්දෝ ජනතාවගේ ජීවන හද ගැස්ම හඳුනාගෙන සිටිති.
කොළඹ කාර්යාලවල විධායක ශ්‍රේණියේ නිලධාරින්ද කොෆි ෂොප්වලට වඩා ළං වෙමින් සිටින්නේ පෙට්ටි කඩවලටය. කාර්යාලයේ විධායක රාජකාරිය නිමාකොට ටයි පොල්ල ගලවා දමා ඌබර් ක්‍රමයට අතරමග කුලියට කෙනකු නංවාගෙන යන විධායක රියැදුරු මැතිදුන් බොහෝය. මේ තිබෙන ආර්ථික තත්ත්වය යටතේ සිඟන්නෝ ආශීර්වාද ලද්දෝය. මළගිය නෑයන්ට පිංපෙත් පමුණුවන්නට විහාරස්ථානවලට දන්කදන් පිරිනැමූ ඇත්තෝ දැන් වැඩිපුර කරන්නේ බත් පාර්සල් කිහිපයක් යාචකයන්ට දන්දීමය. යාචකයා කරන්නේ ඒ සුපිරි කෑම පාර්සල් හෝටලයේ ගාණට වඩා අඩු මිලට විකිණීමය. මැද පංතිකයා ආශීර්වාද ලද්දා වන්නේ එබඳු බත් පාර්සලයක් අඩු මිලට ගන්නා දාටය. මේ සියල්ල සිංහාවලෝකනයේ යෙදෙමින් සිංහයකු සේ ඉවසා දරා ගන්නට බැරිය. විධායක නිලධාරින් තම රථය කුලී රථයක් කරගෙන වෙස් වලාගෙන කුලී ගමන් යන්නේ එහෙයිනි. මේ සියල්ල පොදු ජනතාවට උහුලන්නට වී ඇත්තේ මී හරකකුන් පරිද්දෙන් කරබාගෙනය.
‘‘මී හරකා නුවණැති තලතුනා සතෙකි. ඉවසීමෙන් ඌ ළං වෙන්නේ තලතුනා ගැමියකුටය.’’ මාර්ටින් වික්‍රමසිංහ ‘‘විරාගය’’ නවකතාවේ ලා මී හරකා ගැන විස්තර කර තිබෙන්නේ එසේය. ‘‘තවුසෙකු මෙන් උදාසීන සතකුවන මී හරකා කිපෙන්නේ කලාතුරකිනි.’’
අවසානයේ මී හරකා කරන වැඩේ හෙළයේ මහා ප්‍රාඥයා එසේ විස්තර කරයි.

