brand logo
logo
 කල් පැනපු ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට නඩු

කල් පැනපු ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට නඩු

23 July 2026


කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 


ඒ සම්බන්ධයෙන් අධිකරණ මගින් දඩ නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් බව එම අධිකාරිය නිවේදනය කළේය. 


විමර්ශනයට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන්ය. 


මහජන සෞඛ්‍යයට සහ පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.


මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කර ගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කරන ලදී.


මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි බරපතළ අක්‍රමිකතා රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.


මෙම විශේෂ විමර්ශන හා වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් වැරදි අනාවරණය වී තිබේ.

 


රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තබා ගැනීම.

කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමඟ වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම.


 

More News..